පුවත්

දේවගැති ජෙරම්ට රස පරීක්ෂක හමුවේ පෙනී සිටින ලෙස නියෝග

Published

on

දේව මෙහෙයක් අතරතුරදී බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසාත්මක වන අයුරින් ප්‍රකාශයක් සිදුකළා යැයි චෝදනා එල්ල වී තිබෙන දේවගැති ජෙරම් ප්‍රනාන්දුට හඬ සාම්පලයක් ලබාදීම සඳහා හෙට (27) රස පරීක්ෂක හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා නියෝග කර තිබේ.

දේවගැති ජෙරම් ප්‍රනාන්දු එම නියෝගය කඩ කළහොත් වහාම මෝසමක් මාර්ගයෙන් අධිකරණය දැනුවත් කරන ලෙසද කෝසල සේනාධීර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණි.

එමෙන්ම එළඹෙන 10 වැනිදා සිට ඔක්තෝබර් 23 වැනිදා දක්වා ජෙරොම් ප්‍රනාන්දුට පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කිරීමටද මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ පැමිණිල්ල මෙහෙයවූ නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබුණේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රස පරීක්ෂක වෙත යවා ඇති හඬ සාම්පලය සමඟ සංසන්දනය කිරීමට හඬ සාම්පලයක් ලබාදීම සඳහා පසුගිය 18 වැනිදා රස පරීක්ෂක හමුවේ පෙනී සිටින ලෙස ලියාපදිංචි තැපෑලෙන් ජෙරොම් ප්‍රනාන්දුට දැන්වූවත් ඔහු එම නියෝගය කඩකර තිබෙන බවය.

එමෙන්ම මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව නීති විරෝධී වංචා විමර්ශන ඒකකය වෙනමම විමර්ශනයක් සිදුකරන බවද පැමිණිල්ල මෙහෙයවූ නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි..

Trending

Exit mobile version