Connect with us

පුවත්

දේශගුණික විපර්යාසවලට එරෙහි සටනේ ප්‍රධාන බාධකය ගැන ජනපති කියයි

Published

on

ලෝකයේ ජෛව විවිධත්වය බහුලම ප්‍රදේශය ඝර්ම කලාපීය රටවල් වන බැවින් එම රටවල් කේන්ද්‍රකර ගනිමින් සුවිශේෂි වැඩපිළිවෙළක් දියත් කළයුතු බවත් අනාගත දේශගුණික විපර්යාසයන්ට ශක්තිමත්ව මුහුණදීමට එමඟින් දැවැන්ත රුකුලක් ලැබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ලෝකයට ආවේණික ශාඛ ප්‍රභේදයන්ගෙන්  80%ක් හා සමස්ත කොරල් සහ කඩොලාන වලින් 50%ක් පමණ පිහිටා ඇත්තේ ද ඝර්ම කලාපය තුළ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම තත්ත්වය පසුබිම් කරගෙන දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමේ ප්‍රයත්නයේ ශ්‍රී ලංකාව යෙදී සිටින බවද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ  03 වන “එක් තීරයක් – එක් මාවතක්” ජාත්‍යන්තර සමුළුවට සමගාමීව අද (18) පස්වරුවේ චීන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී “ස්වභාවික සුසංයෝගය වෙනුවෙන් හරිත සේද මාවත” මැයෙන් පැවති ඉහළ පෙළේ සම්මන්ත්‍රණය අමතමිනි.

මෙම සම්මන්ත්‍රණය චීන මහජන සමූහාණ්ඩුවේ උප ජනාධිපති  හාන් ජන්ග් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස් මහතා සහ ඊට සහභාගී වූ අනෙකුත් රටවල රාජ්‍ය නායකයින්ද මෙහිදී අදහස් දැක්වූහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්මන්ත්‍රණය අමතමින් වැඩිදුරටත් පැහැදිළි කළේ ලෝකය මුහුණ දෙන ප්‍රධාන භූගෝලීය ත්‍රිත්ව අර්බුදයන් සේ සැලකෙන දේශගුණික විපර්යාස, පරිසර දූෂණය සහ ජෛව විවිධත්ව විනාශය සම්බන්ධව කඩිනම් පියවර ගැනීමේ අරමුණ ඇතිව ඊට අදාළ පර්යේෂණ සිදු කිරීම හා ආරක්ෂණ පියවර ගැනීමට පසුබිම සැකසෙන දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කළ යුතු බවට තමන් යෝජනා කරන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය

දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය මඟින් ප්‍රධාන කරුණු 03ක් සාක්ෂාත් කර ගැනීමට අප අපේක්ෂා කරනවා. පළමුවැන්න අනුගමනය කළයුතු ආරක්ෂක සාමුහික යහ පියවර පිළිබඳ පර්යේෂණ කිරීමයි. දෙවැන්න දැනුම බෙදා හදා ගැනීමයි. තුන්වැන්න ප්‍රායෝගික අධ්‍යාපනයයි.

මෙම විශ්වවිද්‍යාලය මඟින් දේශගුණික වෙනස්වීම් අවම මට්ටමක පවත්වාගෙන යාම සඳහා තියුණු පර්යේෂණ, අදාළ නියෝජිත ආයතනයන්හි සිදු විය යුතු වෙනස්කම්, ජාත්‍යන්තර සහයෝගය, ප්‍රජා ක්‍රියාකාරකම් ආදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ගතහැකි පියවර පිළිබඳ සොයා බලනවා.

ඒ වගේම ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 1.5ක මට්ටමකට සීමා කර ගැනීම සඳහා අවශ්‍ය දැනුම, පර්යේෂණ සහ විසඳුම් ලබා දෙනවා. මෙම විශ්වවිද්‍යාලය දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කරනවා.

දේශගුණික විපර්යාසවලට එරෙහි සටනට ප්‍රධාන බාධාවක් වී ඇත්තේ ලෝකයේ බොහෝ රටවල් මුහුණ දෙන ආර්ථික අර්බුදයි. ඔවුන් මුහුණ දෙන අර්බුද නිසා දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ සටනට එක් වීම අතිශය අසීරු සහ සංකීර්ණ කාර්යයක් වී තිබෙනවා.

මුළු මහත් විශ්ව ප්‍රජාවම එකට එක් වී මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවීම වඩාත් යෝග්‍ය ක්‍රමවේදයයි. ඒ සම්බන්ධයෙන් මම යෝජනා 03ක් ඉදිරිපත් කිරීමට කැමතියි.

පළමුවැන්න අඩු ආදායම් ලබන රටවලට ණය සහන ලබාදීමයි. දෙවැන්න වැඩි ආදායම් රටවලට සහනදායී පදනම මත ණය ලබා ගැනීමේ අවකාශ සැලසීමයි. තුන්වැන්න ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව ඇතුළු වෙනත් බහුපාර්ශ්වීය සංවිධාන ඔස්සේ අමතර අරමුදල් සැපයීමයි.

මා මීට පෙර සඳහන් කළ ඝර්ම කලාපීය රටවල් 150ක් තිබෙනවා. එයින් 88ක්ම එක් තීරයක් – එක් මාවතක් වැඩපිළිවෙළේ පාර්ශ්වකරුවන් වනවා. මෙම ඝර්ම කලාපය මුළු ලෝකයේම භූමි ප්‍රමාණයෙන් 40%ක්. ඒ වගේම ලෝක ජනගහණයෙන් 40%ක් වෙසෙන්නෙත් මෙම කලාපයේයි.

එවන් පසුබිමක තිරසර සංවර්ධන ගමන් මගෙහි පාරිසරික අවශ්‍යතාව ප්‍රධාන අවශ්‍යතාවයක් ලෙස සලකා මෙවැනි සමුළුවක් සංවිධානය කිරීම පිළිබඳව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රමුඛ චීන සමූහාණ්ඩුවට මගේ ස්තූතිය පළ කරනවා.

2021 වසරේ ආසියානු පැසිෆික් එක් තීරයක් – එක් මාවතක් ඉහළ පෙළේ සමුළුවේදීත් ශ්‍රී ලංකාව හරිත සේද මාවත වැඩපිළිවෙළට පූර්ණ සහාය ලබා දුන්නා. ඉදිරියටත් අප අපේ සහාය ලබා දෙනවා. 

(මූලාශ්‍රය : ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved