Connect with us

පුවත්

කෝටි 25ක පමණ වටිනා ව්‍යාපෘති 9ක් ගැන බලලා නෑ!

Published

on

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් ජූලි 20දා රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කොප් කමිටුව) රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ඇති “දේශීය ණය සහ සංවර්ධන මණ්ඩලය” කැඳවා තිබිණි.

නීතියෙන් බලය ලැබී ඇති පරිදි පළාත් පාලන ආයතනවලට මහජන උපයෝගීතා සේවා පවත්වාගෙන යාම සදහා සහනදායි පොළියකට මූල්‍ය පහසුකම් සැපයීම අරමුණුකරගනිමින් 1916 අංක 22 දරන ආඥා පනත මගින් මෙම ආයතනය ස්ථාපිත කර ඇත. අනතුරුව එම පනත අවස්ථා ගණනාවකදී සංශෝධනයට ලක්ව ඇති අතර 1993 අංක 24 දරන පනත අනුව දේශීය ණය සහ සංවර්ධන අරමුදල ලෙස නම් කර ඇත.

මෙහිදී ආයතනයේ 2020 සහ 2021 මූල්‍ය වර්ෂ සදහා විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනයට අදාළ පහත සදහන් මූලික කරුණු ඔස්සේ විමර්ශනය කිරීම සිදු විය.

පනත සශෝධනය කිරීමේ අවශ්‍යතාව 

මෙය බැංකුවක් හා සමාන මූල්‍ය ආයතනයක් බැවින් කාලෝචිත කරුණු පිළිබද සැලිකිල්ලක් දක්වමින් පනත සංශෝධන කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරන ලදී. පනතට අනුව අමාත්‍යාංශ ලේකම්වරයාම අරමුදලේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම උචිත නොවන බැවින් එම සියලු කාරණා කෙරෙහි අවධානය යොමු කරමින් සංශෝධන සිදු කිරීමේ වැදගත්කම විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය.

2018  ‘ආසියානු පදනම’ මගින් ආයතනයේ ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව වාර්තාවක් ලබා දුන් බවත් ඒ  අනුව කටයුතු කළේනම් විශාල ප්‍රගතියක් අත්පත් කරගැනීමේ හැකීයාව තිබූ බවත් සාකච්ඡා විය.

ගරු අග්‍රාමාත්‍යවරයා විෂය භාර අමාත්‍යවරයා ලෙස පනත සශෝධනය කිරීම සදහා සාකච්ඡාවක්ද පවත්වා ඇති පසුබිමක මේ සදහා කඩිනමින් කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වන ලදී. 

අධ්‍යක්ෂ ජනරාල් සහ අභ්‍යන්තර විගණක තනතුරු පූර්ණකාලීන ස්ථිර තනතුරු බවට පත් කිරීමේ කිරීමේ අවශ්‍යතාව 

වසර ගණනාවක සිට අධ්‍යක්ෂ ජනරාල් තනතුර වැඩබලන තනතුරක් ලෙස පැවතීම පිළිබදව  අවධානයට ලක්විය. එසේම ස්ථිර අභ්‍යන්තර විගණන නිලධාරියෙකු නොමැති වීම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. ඒ අනුව ස්ථිර අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු මෙන්ම පූර්ණ කාලීන ස්ථිර අභ්‍යන්තර විගණන නිලධාරියෙකු පත්කිරීමට ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද සති දෙකක් තුළ දැනුම් දෙන ලෙස නියෝග කරන ලදී.

ණය ලබාදීම, ව්‍යාපෘති ඇගයීම සහ ණය අයකර ගැනීම සදහා විධිමත් ක්‍රමවේදයක් නොමැති වීම 

2023 වසරේදී රු. මිලියන 249 ක් වටිනා ව්‍යාපෘති 9ක් අරමුදලට ලැබී ඇතත් මේ වන තෙක් ඒ පිළිබදව අධ්‍යක්ෂ මණ්ඩලය රැස්ව සළකාබලා නැති බවත් අනාවරණය විය.  

මේ අනුව ණය දීමේ හා අයකරගැනීමේ නිර්ණායක, ණය අය කර ගැනීමේ හැකියාවන්, ණය භාවිතා කරන ව්‍යාපෘති සහ ඵලදායිතාව වැනි කරුණු කෙරෙහි අවධානය යොමුකරමින් විධිමත් ක්‍රමවේදයක් සහ මාර්ගෝපදේශ මාලාවක් සකසන ලෙස නිර්දේශ කරන ලදී. එම විධිමත් ක්‍රමවේදයට අනුව ණය දීමේ කමිටුව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව  කමිටුව විසින් අවධාරණය කරන ලදී.

එක් එක් පළාත්වලට ණය බෙදීයාමේ ක්‍රමවේදය විධිමත් කිරීමේ අවශ්‍යතාව

2021 වසරේ ණය ලබාදී ඇති රු.මිලියන 847.7 කින් රු.මිලියන  691ක්ම වයඹ පළාතට ලබා දී ඇති බවත් කෝප් සභාපතිවරයා අනාවරණය කළේය. මෙම ව්‍යාපෘතිවලට ණය ලබා දීමේදී එක් එක් පළාත්වලට බෙදී යාමේ ක්‍රමවේදය විධිමත් කරන ලෙස කමිටුව නිර්දේශ කරන ලදී.

අභ්‍යන්තර විගණනය විධිමත් කිරීම

අභ්‍යන්තර විගණනය නිසි පරිදි සිදු කිරීම සදහා ස්ථිර  අභ්‍යන්තර විගණන නිලධාරියෙකු නොමැති වීමෙන් පසුගිය වසර වල විගණනය නිසි පරිදි සිදු නොවීම  පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. ස්ථිර අභ්‍යන්තර විගණන නිලධාරියෙකු බදවා ගැනීමට කටයුතු කිරීමටත්  2011,2012 යන වසර සදහා විගණන වාර්තා මාසයක කාලයක් තුළ විගණකාධිපතිවරයාට ලබා දෙන ලෙසත් නිර්දේශ කරන ලදී. එසේම ජාතික විගණන කොමිස​මේ නිර්දේ​ශ ක්‍රියාත්මක කරන ලෙසත් උපදෙස් දෙන ලදී.

2019- 2023 වර්ෂ 5ක කාලය සදහා සංයුක්ත සැලැස්මක් සකස් කර තිබුනද ඊට අනුමතිය ලබා ගෙන නොතිබීම ගැටලුවක් බව හදුනා ගන්නා ලදී.  ඒ අනුව 2023-2028 දක්වා සංයුක්ත සැලැස්මක් අනුමත කර ගන්නා ලෙස උපදෙස් දෙන ලදී.

1995 වසරේදී බහුබෝග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ දඹුල්ල ප්‍රාදේශීය සභාව වෙත ලබා දුන් රු මිලියන 12ක ණය මුදලක්, මහනුවර නගර සභාවට ලබා දුන් රු 60,922,475 ක ණය මුදලඅයකර නොගැනීම ඇතුළු කරුණු  පිළිබදව ද මෙහිදී අවධානය යොමුවිය. මේ අනුව අදාළ නෛතික පියවර කඩිනමින් ගන්නා ලෙස උපදෙස් දෙන ලදී.  

පළාත් පාලන ආයතන හරහා එම ප්‍රදේශවල සංවර්ධන කටයුතු සදහා  මූල්‍ය ආධාර සපයන එකම ආයතනය වන අරමුදලේ කටයුතු වඩාත් කාර්යක්ෂම විය යුතු බව කෝප් කමිටු සභාපතිවරයා විසින් අවධාරණය කරන ලදී. එසේම තවත් සය මසකින් මෙම ආයතනය නැවත කැඳවීමටත් තීරණය විය.

පුවත්

රථවාහන දඩ ඔන්ලයින් ගෙවන ක්‍රමවේදයකට කැබිනට් අනුමැතිය

Published

on

By

රථවාහන දඩ මුදල් මාර්ගගත ක්‍රමයක් ඔස්සේ ගෙවීමේ වැඩසටහන ඉදිරියේදී රට පුරා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව රථවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශ බිමල් රත්නායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන සඳහා ආසන පටි පැළඳීම සම්බන්ධව දැනුවත් කිරීම සඳහා කොට්ටාව අධිවේගී පිවිසුම අසල පැවැත්වූ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පවසා තිබේ :

“දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලා තියෙන්නේ. අද කැබිනට් මණ්ඩලය අනුමත කළා…  දැනට තියෙන්නේ කුරුණෑගල  ඉඳලා අනුරාධපුරය දක්වා විතරයි දඩ ගෙවීම ෆෝන් එකෙන්. අපි දැන් ලංකාවේ පොලීසි ඔක්කොටම ෆෝන් අරන් දෙනවා. මේ අවුරුද්දේ ඉඳලා දඩෙත් ඕන තැනක ඉඳලා ගෙවන්න පුළුවන්. දඩ ගෙවන්නේ නැතිව සීට් බෙල්ට් දාලා පරිස්සම් වෙලා යමු කියලා තමයි අපි කියන්නේ. අපේ තේමාව තියන්නෙම පරිස්සමින් ගිහින් එන්න කියලා තමයි.”

Continue Reading

පුවත්

ප්‍රබල ඉන්දීය ව්‍යාපාරිකයන් 20ක් ජනපති හමුවේ (ඡායා)

Published

on

By

ශ්‍රී ලංකාවේ බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය, සංචාරක, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රවල මෙන්ම ව්‍යවසායකයන්ගේ ධාරිතා වර්ධනයට අදාළ නව ආයෝජන අවස්ථා පිළිබඳව තම අවධානය යොමු ව තිබෙන බව ඉන්දියානු ව්‍යවසායකයෝ පවසති.

පවතින ආයෝජන අවස්ථා තවදුරටත් වර්ධනය කර ගැනීම සහ නව ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමේ අරමුණින් ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) සම්බන්ධීකරණයෙන් ඉන්දියාවේ ප්‍රකට සමාගම් රැසක ප්‍රධානීහු ඇතුළු ඉන්දියානු ව්‍යවසායකයින් 20 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් මෙරට ක්‍රියාකාරී වැඩසටහනක් සඳහා එක්ව සිටී. එම කණ්ඩායම අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළේය.

ජනාධිපති  අනුර කුමාර දිසානායක මහතා පසුගිය ඉන්දීය නිල සංචාරයේදී කරන ලද ආරාධනය අනුව මෙම කණ්ඩායම මෙරටට පැමිණ සිටින අතර, ඔවුන් විසින් මෙරට මැති ඇමතිවරු කිහිප දෙනකු සමඟ මෙන්ම ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය ආදී ප්‍රමුඛ පෙළේ රාජ්‍ය ආයතන සමඟද සාකච්ඡා පවත්වා තිබේ.   

ශ්‍රී ලංකාව තුළ ඇතිව තිබෙන ආර්ථික ස්ථාවරත්වය සමඟ ආයෝජකයින්ට වඩා සුදුසු පසුබිමක් රට තුළ නිර්මාණය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.

රට තුළ පවතින යහපත් ආර්ථික තත්ත්වය සහ ආයෝජන හිතකර පසුබිම නිර්මාණය කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී ඉන්දීය ව්‍යවසායකයින් දැනුවත් කළ ජනාධිපතිවරයා මහා පරිමාණ ආයෝජන සහ ඒවා පවත්වාගෙන යාමට අවශ්‍ය නෛතික පසුබිම මෙන්ම ආයතනික පද්ධතියද ශක්තිමත් කර තිබෙන බවත්, ආයෝජනවලදී මෙතෙක් සිදු වූ නාස්තිය සහ දූෂණය වැළැක්වීමට වත්මන් රජය යටතේ කටයුතු කර තිබෙන බවත් සඳහන් කළේය. 

විශේෂයෙන් කලාපීය ආයෝජකයන් පහසුවෙන් ගෙන්වා ගැනීමට සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට  විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවද පැවසූ ජනාධිපතිවරයා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර රැසක නව ව්‍යාපාරික අවස්ථා සඳහා ඉඩකඩ විවර වි පවතින බවද පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම ආයෝජකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක් ව ඇති බව මෙහිදී  පැවසූ ඉන්දීය ව්‍යවසායකයෝ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා සිදු කළ පැහැදිළි කිරීම අගය කරමින්, එයින් තමන් තුළ දිරි ගැන්වීමක් මෙන්ම නව බලාපොරොත්තුවක් ඇති වූ බව පැවසූහ.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති  ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා ඇතුළු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහුද,  ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) හිටපු සභාපති  හා ITC ලිමිටඩ්හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ සංජිව් පූරි මහතා ඇතුළු ප්‍රමුඛ පෙළේ ඉන්දියානු සමාගම් රැසක ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

බස් ගාස්තු 0.55%කින් අඩු වෙයි

Published

on

By

එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස් ගාස්තුව 0.55%කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ජූලි මස 04 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට මෙම නව බස් ගාස්තුව ක්‍රියාත්මක වනු ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ 2025 වසරේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය 2.5%කින් අඩු වන බව නිරීක්ෂණය වූ නමුත් ඉන්ධන මිල සූත්‍රය අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය සිදුවූ බැවින් ඉන්ධන මිල ගැලපීමෙන් පසුව නව බස්ගාස්තු සංශෝධනය 0.55%කින් අඩු කිරීමට තීරණය කළ බවයි.

අවම ගාස්තුවේ සංශෝධනයක් සිදු නොවන බවද එම කොමිෂන් සභාව පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved