දෙදහස් විසිහතර වසරේදී නත්තල් දිනය වෙනුවෙන් ලබාදෙන ජනාධිපති පොදු සමාව යටතේද සුදුසුකම් නොලැබූ සිරකරුවන් 25 දෙනකු පමණ දිවයිනේ විවිධ බන්ධනාගාරවලින් අනීතිකව නිදහස් කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇතැයි වාර්තා වේ.
මේ තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ අනුරාධපුරය බන්ධනාගාරයෙන් ජනාධිපති සමාව හිමි නොවූ පුද්ගලයකු නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදීය.
අධිකරණ අමාත්‍යාංශයේ හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ලේඛන පරීක්ෂා කිරීමේදී අදාළ සිරකරුවන් පිරිස සම්බන්ධයෙන් හෙළිවී ඇතැයි පැවසේ.
ජනාධිපතිවරයා අදාළ ලේඛන සඳහා අත්සන් තැබීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් නැවත ඒවා පරික්ෂා කිරීම නිසි ලෙස සිදු නොකිරීම හේතුකරගෙන දූෂිත නිලධාරීන් විසින් අදාළ සිරකරුවන් පිරිස නිදහස් කර ඇති බවට වාර්තා වේ.
ඒ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුළුල් විමර්ශනයක් සිදුකරන බව පැවසේ.
මූලාශ්‍රය – අරුණ