Connect with us

පුවත්

නව තාක්ෂණික කමිටුවක් පත් කරන්න කෝපා තීරණය කරයි

Published

on

රජයේ ආදායම එකතු කිරීම, වැඩි දියුණු කිරීම සදහා රජයේ අදාළ සියලු ආයතන ඒකාබද්ධ කර තොරතුරු තාක්ෂණික පද්ධතියක් සකස් කිරීමට සදහා අවශ්‍ය මූලික සැලසුම් සකස් කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් යුතු තාක්ෂණික කමිටුවක් පත් කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) සහ ක්‍රම සහ විධි කාරක සභා ඒකාබද්ධව පසුගියදා පවත්වන ලද රැස්වීමේදී තීරණය විය.

මේ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ නියෝජිතයෙක්, මුදල් අමාත්‍යාංශය හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරු හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපතිවරයා මෙම කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

මේ අනුව සියලු අදාළ ආයතන සම්බන්ධීකරණයෙන් සතියක් ඇතුළත මූලික සාකච්ඡාවක්  පවත්වා  මැයි 15 වැනිදා මූලික සැලසුම්වල ඉදිරිපත් කිරීමක් කෝපා කමිටුව ඉදිරියේ සිදු කරන ලෙසටත් ඊට අදාළ වාර්තාවක් ද ලබාදෙන ලෙසත් එම තාක්ෂණික කමිටුවට දැනුම් දුන්නේය. එසේම ඉන් අනතුරුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන තුරු සෑම මසකට වරක්ම මේ පිළිබදව ප්‍රගති සමාලෝචනයක් ලබා ගැනීමට ද මෙහිදී තීරණය විය.    

ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාශය, තාක්ෂණ අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්ත‍මේන්තුව, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන ගණනාවක නිලධාරීන්  මෙම අවස්ථාවට කැඳවා තිබිණි.

2016 වසරේදී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් මේ සම්බන්ධව රජයේ ආදායම එකතු කිරීම, වැඩි දියුණු කිරීම සදහා රජයේ අදාළ සියලු ආයතන ඒකාබද්ධ කර තොරතුරු තාක්ෂණික පද්ධතියක් සකස් කිරීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශයක් ලබා දී තිබියදී එය ක්‍රියාත්මක නොවීම පිළිබඳව කෝපා කමිටු සභාපතිවරයා රජයේ ආදායම් එකතු කරන ආයතනවලට සිය දැඩි අප්‍රසාදය පළ කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩපිළිවෙල තුළ පවතින ආර්ථික අර්බුදය විසදා රජයේ ආදායම වැඩි කර ගැනීමට සියලු ආයතන ඒකාබද්ධ කොට විධිමත් පරිඝණක පද්ධතියක් සකස් කිරීම අත්‍යවශ්‍ය බව ද ඒ මහතා අවධාරණය කර සිටියේය.

මෙහිදී අදහස් දක්වමින් ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති – පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියේ මේ සදහා අවශ්‍ය තාක්ෂණික පසුබිම, අදාළ ආයතන මේ සදහා කොතරම් දුරට සවිබල ගැන්විය යුතුද යනාදි කාරණා අධ්‍යයනය කොට සංයුක්ත වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි.

කාරක සභා සාමාජිකයන් වන රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන සිල්වා, රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිරෝෂන් පෙරේරා, ජයන්ත කැටගොඩ, ජේ.සී අලවතුවල, මේජර් ප්‍රදීප් උදුගොඩ, මුදිතා ප්‍රිශාන්ති, (ආචාර්ය) හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීහු ද පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ශෝකය

Published

on

By

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ  (උපත් නාමය ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ) ස්වර්ගස්ථ වීම පිළිබඳ  ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ  සභාපති,ජපානයේ  ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ බලවත් ශෝකය ප්‍රකාශ කරති.

අවස්ථා කීපයකදීම මට හමුවූ ශුද්ධෝතම ප්‍රැන්සිස් පාප් වහන්සේ  අතිශය නිහතමානී කමින් යුක්ත, ආගමික සහජීවනය පිළිබඳ ඉතාමත් ගැඹුරු දර්ශනයකින් යුත් දිළිඳු ජනයා කෙරෙහි මහා ආදරයකින් යුක්ත යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෞරවනීය ශ්‍රාවකයෙකි.

2015 දී ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ අවස්ථාවේ දී මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහාබෝධි විහාරයට සැපත්වීම උන් වහන්සේගේ ආගමික සහජීවනයේ කැපී පෙනුණු සිදුවීමක් විය.උන් වහන්සේ ඒ අවස්ථාවේ දී මා හට ප්‍රකාශ කළේ බෞද්ධ විහාරයකට සැපත් වූ ප්‍රථම පාප් වහන්සේ තමන් බවය.

උන් වහන්සේ 1936 දෙසැම්බර් 17 දින උපත ලැබීය. ජේසුස් වහන්සේගේ සමාජයෙන් (ජේසුයිට් නිකායෙන්)  පාප් වහන්සේ ලෙස පත් වූ පළමු පාප් වහන්සේ ලෙසත් ඇමරිකාවෙන් බිහි වූ  සහ 8 වන සියවසේ සිරියාවෙන් පත් වූ තුන්වන ග්‍රෙගරි පාප් වහන්සේ ගෙන් පසු යුරෝපයෙන් පිටත උපත ලැබූ හෝ හැදී වැඩී උත්තරීතර පාප් වහන්සේ තනතුරට පත් වූ පළමු පාප් වහන්සේ ලෙස ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ රෝමානු කතෝලික පල්ලියේ ඉතිහාසගත වූ චරිතය වේ.

සැබෑ කිතු දහම හා සාමය ලොව පුරා ප්‍රචලිත කිරීමට සිය ජීවිත කාලයම කැප කළ උන් වහන්සේට ස්වර්ග මෝක්ෂ සුවය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු යැයි බානගල උපතිස්ස නා හිමියෝ සිය ශෝක පණිවිඩයෙන් ප්‍රාර්ථනා කරති.

ඡායාරූපය – News1st 

Continue Reading

පුවත්

කටුනායක වෙඩි තැබීමක්

Published

on

By

කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුකර තිබේ.

අද (22) උදෑසන 9.30ට පමණ එම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ගිනිඅවි සමග නිවසකට ඇතුළුවී ටී-56 ගිනිඅවියකින් වෙඩිතැබීමක් සිදුකර ඇතැයි පොලීසිය පැවසීය.

ගිනිඅවිය ක්‍රියාවිරහිත වීම හේතුවෙන් එක් පුද්ගලයෙක් එම ස්ථානයෙන් පලාගොස් ඇත.

පසුව අනෙක් පුද්ගලයා නිවසේ කොටුවී ඇති අතර ඔහු තාප්පයකින් පැන යෑමට උත්සාහ කිරීමේ දී ඇදවැටී කකුල් දෙකට දැඩි හානි සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ එම අවස්ථාවේ දී ඔහු අතැතිව තිබූ ගිනිඅවියෙන් අහසට වෙඩිතබා ඇති අතර, එවිට ප්‍රදේශවාසීන් එම ස්ථානයට රැස්ව ඇති බවය.

කෙසේවෙතත් මේ වනවිට වෙඩිතැබීමට පැමිණි එම පුද්ගලයා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලීසිය පැවසීය.

Continue Reading

පුවත්

“සිරි දළදා වන්දනාවට” පැමිණෙන සැදැහැවතුන්ට ඉල්ලීමක්

Published

on

By

සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ, පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙසත්, දළදා මාළිගය අවට පරිසරයේ පවිත්‍රතාව රැක ගැනීම පිළිබඳව උපරිම අවධානය යොමු කරන ලෙසත්ය.

අදාල නිවේදනය,

“ක්ලීන් ශ්‍රී ලංකාවක්” වෙනුවෙන් පුරවැසි වගකීම ඉටු කරමු! –  “සිරි දළදා වන්දනාවට” පැමිණෙන සැදැහැවතුන්ට ඉල්ලීමක්

සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙසත්, දළදා මාළිගය අවට පරිසරයේ පවිත්‍රතාව රැක ගැනීම පිළිබඳව උපරිම අවධානය යොමු කරන ලෙසත්, එසේම කැළිකසළ අදාළ ස්ථානවලටම පමණක් බැහැර කිරීම වෙනුවෙන් සාමුහිකව මැදිහත් වෙමින් පුරවැසියන් ලෙස වගකිම ඉටු කරන ලෙසත්  “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සිහිපත් කර සිටියි.

රට තුළ සාමාජයීය, පාරිසරික සහ ආචාරධාර්මික පිබිදීමක් ඇති කරමින් සමාජය වඩා ඉහළ තලයකට ඔසවා තැබීමේ අරමුණින් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

කැළිකසළවලින් තොර පරිසරයක් නිර්මාණය කිරීම මෙන්ම නිසි පරිදි කැළිකසළ බැහැර කිරීමේ යහ පුරුද්ද සමාජගත කිරීමද මෙම වැඩසටහන යටතේ විශේෂ අවධානයක් යොමු කර ඇති කරුණකි.

පසුගිය දා ආරම්භ වූ සිරි දළදා දැක්මට සමගාමීව ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින්  “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබේ.

– ජනාධිපති මාධ්‍ය අංශය – 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved