පුවත්

නව රජයේ ක්‍රියාවන් ඇමරිකානු තානාපතිනියගේ ඇගයීමට

Published

on

නව රජය පත්වීමෙන් පසු ඇතිවූ දූෂණයෙන් තොර වූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසා ආයෝජකයන්ට හොඳ සංඥාවක් ලැබී ඇති බව එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් මහත්මිය පවසයි.

එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් මහත්මිය හා කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අතර හමුවක් ඊයේ (22) කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ දී පැවැති අවස්ථාවේ දී ඇය මේ බව කියා සිටියාය.

මෙහිදී ජාතික ජන බලවේගය ලබාගත් තියුණු ජනවරම පිළිබඳව සුබ පැතූ තානාපතිවරිය, කර්මාන්ත අමාත්‍ය ලෙස පත්වීම පිළිබඳවද සුනිල් හඳුන්නෙත්ති මහතාට සුබ පැතූම් එක් කළාය.

එක්සත් ජනපදය තුළ සිටින බොහෝ ආයෝජකයන් දැනට වෙනත් රටවල ඇති ඔවුන්ගේ කර්මාන්ත දකුණු ආසියාවට රැගෙන ඒමට උත්සාහ කරන නිසා ඉන් පංගුවක් ශ්‍රී ලංකාවට ලබාගත හැකි වනු අතර ඒ වෙනුවෙන් තමා සහයෝගය ලබාදෙන බව ද තානාපතිනිය ප්‍රකාශ කර ඇත.

අමාත්‍යවරයා මෙහිදී ලංකාවේ ඛනිජ වැලි, ග්‍රැනයිට් වැනි ක්ෂේත්‍ර වලට ආයෝජන කිරීමට එක්සත් ජනපද ආයෝජකයන්ට ආරාධනා කළ අතර, රජය කර්මාන්තකරුවන් මුහුණ දෙන නිෂ්පාදන පිරිවැය හා බදු සම්බන්ධ ගැටළු අවම කිරීමට පියවර ගන්නා බවද ප්‍රකාශ කර තිබේ.

මෙම අවස්ථාවට එක්සත් ජනපද තානාපති කාර්යාලය වෙනුවෙන් තානාපති කාර්යාලයේ ආර්ථික නිලධාරි Bradley Gardner මහතා සහ තානාපති කාර්යාලයේ ආර්ථික විශේෂඥ රෝෂණී පීරිස් මහත්මියද, කර්මාන්ත ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය වෙනුවෙන් අතිරේක ලේකම් චමින්ද ප්‍රතිරාජ මහතා සහභාගී විය.

Trending

Exit mobile version