Connect with us

පුවත්

නව රජය යටතේ ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය ඉදිරියට

Published

on

ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය සහ ජනතාවට යෝජිත සහන පැකේජයන් පිළිබඳ මාධ්‍ය  සාකච්ඡාවක් අද (26) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්විණි. 

කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූහ. 

එහිදී නිකුත් කළ මාධ්‍ය ප්‍රකාශය මෙසේය. 

ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය සහ ජනතාවට යෝජිත සහන පැකේජයන් පිළිබඳ මාධ්‍ය නිවේදනය 

01. ආර්ථික ස්ථාවරත්වය

පසුගිය පාලකයන් විසින් නිර්මාණය කරන ලද අගාධයෙන් රට ගොඩගැනීම සඳහා ආර්ථික ස්ථාවරත්වයක් ඇති කරලීම මූලික තැනක් ගනී. රජය බලයට පත්වන අවස්ථාවේදී, අර්බුදයට වගකිව යුතු පුද්ගලයින් විසින්ම ඒකපාර්ශ්විකව බාහිර ණය සේවා 2022 අප්‍රේල් මාසයේදී අත්හිටුවන ලද අතර, වසර 4ක කාලයක් තුළ වාරික 8ක් ලෙස ලැබීමට නියමිතව තිබූ ඩොලර් බිලියන 3ක පමණ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනට ඇතුළත් වී ණය තිරසර විශ්ලේෂණයට අනුකූලව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන ලදී. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ සිදු වූ ප්‍රමාද වීම සහ එහි වූ සංකීර්ණ ස්වභාවය නිසා රටට අමතර වියදම් දැරීමට සිදු වූ අතර ජනතාව මත අමතර බරක්ද පැටවිණි. කෙසේ වෙතත්, සමාජ, දේශපාලන හා ආර්ථික ඉදිරි දැක්මකට අනුව පවතින වාතාවරණයේ වාසි සහ අවාසි යන දෙකම සලකා බලා, රජය, රටේ ජනතාවගේ යහපත සඳහා වන විකල්ප සමඟ ඉදිරියට ගමන් කරමින් සිටී.

ඒ අනුව, වැඩසටහන් පරාමිතීන් හා රාජ්‍ය ආදායම් ක්‍රමවේදයන්ට අනුකූලව, සුදුසු මැදිහත්වීමකින් සහ කාලෝචිත පහසුකම් සැලසීමකින්  2024 නොවැම්බර් 26 වන දින තුන්වන සමාලෝචනයේදී  කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළඹීමට රජයට හැකි විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල 

අනුමැතියට පෙරාතුව, EFF හි මීළඟ වාරිකය ලබා ගැනීම සඳහා රජය, අවශ්‍ය පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටී.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම ණය ප්‍රතිව්‍යුහගත කිරීම, දේශීය හා බාහිර ප්‍රතිව්‍යුහගත කිරීමකින් සමන්විත වේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම 2023 ජූලි මාසයේදී සාර්ථකව නිම කරන ලදී. බාහිර ප්‍රතිව්‍යුහගත කිරීමේදී  විවිධ පදනම් සහ තර්කන මත බහුපාර්ශ්වික ණය හිමියන් බැහැර කරන අතර ඉතිරිය නිල ද්විපාර්ශ්වික ණය සහ පුද්ගලික ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) හිමියන්ගෙන් සමන්විත වේ.

ද්විපාර්ශ්වික ණය රටවල් 17ක් නියෝජනය කරමින් ප්‍රංශය, ඉන්දියාව සහ ජපානය විසින් සම සභාපතිත්වය දරනු ලබන නිල ණය හිමි කමිටුව (OCC), චීනයේ එක්සිම් බැංකුව, චීන සංවර්ධන බැංකුව, අනෙකුත් නිල ණය හිමියන් (කුවේටය, සෞදි අරාබිය, ඉරානය සහ පකිස්ථානය) සහ අනෙකුත් වාණිජ ණය හිමියන් සමඟ එක්ව ද්විපාර්ශ්වික ණය සම්බන්ධයෙන් කටයුතු කරයි.

නිල ණය හිමි කමිටුව විසින් 2024 ජූනි මාසයේදී අදාළ නියමයන් සහ කොන්දේසි වලට එකඟ වූ අතර, ප්‍රතිකාරවල සංසන්දනාත්මක බව (CoT) සහතික කරමින්, 2023 ඔක්තෝම්බර් මාසය වන විටත් එකඟ වූ රාමුව තුළ චයිනා එක්සිම් බැංකුව සමඟ අදාළ ණය ප්‍රතිව්‍යුහගත කර තිබිණි. දළ වශයෙන් ඩොලර් මිලියන 300 ක් සහ ප්‍රතිව්‍යුහගත කිරීමට යටත්ව මුළු විදේශ ණය වලින් 1% ක් පමණ නියෝජනය කරන නිල ණය දෙන්නන් (කුවේටය, සෞදි අරාබිය, ඉරානය සහ පකිස්ථානය) හැර අනෙකුත් සියලුම ද්විපාර්ශ්වික ණයහිමියන් එකඟ වූ රාමුව තුළ ණය  ප්‍රතිව්‍යුහගත කිරීමට දැනටමත් එකඟතාව ලබා දී ඇත. 

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය හිමියන් බොහෝ ප්‍රමාද වූ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා, එකඟවීම්, එකඟ නොවීම්, යෝජනාවල වෙනස් වීම, ණය තිරසර විශ්ලේෂණය (DSA) සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතාවන්ට අනුකූලව ගැළපීම ආදිය සමඟ සාකච්ඡා අදියරයන් කිහිපයක් පසු කර, අවසානයේ ජනාධිපතිවරණයට දින දෙකකට පෙර එනම්, 2024 සැප්තැම්බර් 19 වන දින ප්‍රතිපත්තිමය පදනම මත (AIP) එකඟතාව ලැබිණ. පසුගිය සමයේ ගෙවිය යුතුව තිබූ  ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක පොළිය ද ඇතුළත්ව ඇමෙරිකානු ඩොලර් බිලියන 14.2 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර Ad Hoc Group (AHG) සහ Local banking 

consortium විසින් නියෝජනය කෙරේ.  කාලෝචිත ලෙස ක්‍රියාවන්ට ප්‍රමුඛත්වය ලබා දීම සහ පහසුකම් සැලසීම තුළින් නව රජය ආර්ථික ස්ථාවරත්වය කරා රට යොමු කිරීමට දැඩි දේශපාලන කැපවීමක් පෙන්නුම් 
කර ඇත. මූල්‍ය ස්ථායීතාවය සඳහා වන මෙම ප්‍රයත්නයන් ශ්‍රේණිගත කිරීමේ ආයතන ඇතුළු තෙවන පාර්ශවයන් විසින් ස්වාධීනව පිළිගෙන ඇති අතර, ශ්‍රේණිගත කිරීම් සටහන් කිහිපයකින් ඉහළ නංවා ඇත. මෙය කළ හැකි වූයේ නිවැරදි ප්‍රමුඛතාවය සහ ආර්ථික ස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම  හේතුවෙනි. එබැවින් රජය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව කරගෙන ගිය අතර ආර්ථිකය ස්ථාවර කිරීමේ තීරනාත්මක පරමාර්ථය සාක්ෂාත් කර ගැනීම සඳහා පවතින බැඳුම්කර හුවමාරු කිරීම සඳහා නව බැඳුම්කර නිකුත් කිරීම 2024 දෙසැම්බර් 20 වන දින සාර්ථකව නිම කිරීමට පහසුකම් සලසා ඇත. මෙය සමෘද්ධිමත් ජාතියකට සහ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට තුඩු දෙන වර්ධන හා සංවර්ධන මාවතක් කරා රට ගමන් කිරීමේ කොටසකි.

කාලෝචිත ක්‍රියාමාර්ග ගැනීම සහ පහසුකම් සැලසීම මඟින්, නව රජය රට ආර්ථික ස්ථායිතාව කරා ගෙන යාමට දැඩි දේශපාලන කැපවීමක් පෙන්නුම් කර තිබේ. මූල්‍ය ස්ථායීතාව සඳහා වන මෙම ප්‍රයත්නය, ශ්‍රේණිගත කිරීමේ ආයතන ඇතුළු ස්වාධීන තුන්වන පාර්ශ්වයන්ගේ ප්‍රශංසාවට ලක් වී ඇති අතර, ඒ අනුව ශ්‍රේණිගත කිරීම් තුළ පියවර කිහිපයකින් උසස් කර තිබේ. මෙම සාර්ථකත්වය උදෙසා නිවැරදි ලෙස ප්‍රමුඛතාවයන් පිහිටුවීම සහ ආර්ථික ස්ථායීකරණය සඳහා ගත් කාර්යක්ෂම පියවර මූලිකව හේතු වී ඇත. ඒ අනුව, රජය තම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටින අතර ඒ සඳහා පහසුකම් සලසමින් ආර්ථික ස්ථායිකරණය  පිළිබඳ තීරණාත්මක පියවරක් ලෙස පවතින බැඳුම්කර හුවමාරු කිරීම සඳහා නව බැඳුම්කර නිකුත් කිරීම 2024 දෙසැම්බර් 20 වන දින සාර්ථකව නිම කිරීමට අවශ්‍ය කටයුතු සලසා ඇත. මෙය ශ්‍රී ලාංකේය ජනතාවට “පොහොසත් රටක – ලස්සන ජීවිතයක්” උරුම කරදීම යථාර්ථයක් කර ගැනීම සඳහා රට සමෘද්ධිමත් හා සංවර්ධන මාවතක් කරා ගමන් කරවීමේ කාර්යභාරයෙහි එක් පියවරකි. 
________________________________________
2. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට පහසුකම් සැලසීම 

2.අ.1. පරාටේ නීති සහනය දීර්ඝ කිරීම 

හුදෙක් පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දිනය කල් දැමීම වෙනුවට, මෙම දිගුකාලීන ගැටලුව සඳහා පිළිගත හැකි විසඳුම් සොයා ගැනීම සහතික කිරීම සඳහා රජය පාර්ශ්වකරුවන්ගේ කණ්ඩායම් සමඟ සාකච්ඡා පැවැත් වීය. එහි ප්‍රතිඵලයක් ලෙස, පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම මේ වන විට 2025 මාර්තු 31 දක්වා දීර්ඝ කර තිබේ. 

2.ආ.2. සහන පැකේජය

ව්‍යාපාර සඳහා සහන ලැබෙන්නේ කාලය දීර්ඝ කිරීමෙන් පමණක් නොවේ. මහ බැංකුවේ දත්ත අනුව, රුපියල් මිලියන 25ට අඩු ණය ප්‍රාග්ධනයක් ඇති ණය ගැනුම්කරුවන්ගෙන් 99% කට, තම ණය මුදල් බැංකු  සමඟ නැවත සාකච්ඡා කර, ගෙවීම් සැලැස්මකට එකඟ වීමට මාස 12ක සහන කාලයක් ලබා දී තිබේ.රුපියල් මිලියන 25 සහ 50 අතර ණය ගැණුම්කරුවන් සඳහාද  මාස 9ක දිගුවක් ලබා දී ඇති අතර, අනෙකුත් ණය ගැණුම්කරුවන් සඳහා මාස 6ක දිගුවක් ලබා දී ඇත.

රජය විසින් යෝජනා කරන ලද  සහ මහ බැංකුව මඟින් ක්‍රියාත්මක කරනු ලබන මෙම සහන පැකේජය, අඩු පොලී අනුපාත, ආපසු ගෙවීම් කාලයෙහි දිගුව, ණය ශ්‍රේණිගත කිරීම් ලිහිල් කිරීම සහ තක්සේරු ආරවුල් විසඳීම සඳහා විනිවිද පෙනෙන යාන්ත්‍රණයක් සැපයීම වැනි වැදගත් පියවර කිහිපයකින්ද සමන්විතය. ආර්ථිකය තුළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සක්‍රීය දායකත්වය සහතික කිරීම මෙම සහන ක්‍රියාමාර්ගයන්හි ප්‍රධාන අරමුණ වේ.

2.ආ.  පාසල් ළමුන් සඳහා පාසල් ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා සහාය 

2.ආ.1. අස්වැසුම පවුල්වල ළමයි

සමාජය තුළ අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වල දෙමාපියන් වෙත දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් පැටවී ඇති බර ලිහිල් කිරීමට ඉදිරි පාසල් වාරය සඳහා අත්‍යවශ්‍ය පාසල් පොත් සහ ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම වෙනුවෙන් එක් දරුවෙකුට රුපියල් 6,000 බැගින් වෙන් කර තිබේ. අස්වැසුම ලබන පවුල්වල දරුවන්ට මෙම ප්‍රතිලාභය ඉක්මනින්ම ලබා දීම ආරම්භ කෙරේ. 

2.ආ.2. අස්වැසුම නොලැබෙන පවුල්වල  දරුවන්

දැනට අස්වැසුම නොලබන නමුත් ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින පවුල්වල දරුවන් සඳහාද අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශ මත මෙම ප්‍රතිලාභය ලබා දෙනු ලැබේ. මෙම ක්‍රියාවලිය කඩිනමින් අවසන් කිරීමට බලාපොරොත්තු වන අතර, ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙන, මේ දීමනාව ලැබිය යුතු  සියලුම දරුවන් හට එම සහනය සැලසීම සහතික කරමින් ඔවුන්ට මේ ප්‍රතිලාභය ලබා දීමේ  වැඩපිළිවෙළ  දින කිහිපයක් ඇතුළත ආරම්භ කිරීමට නියමිතය. 

පුවත්

හිටපු මෝටර් රථ කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ් (UPDATE)

Published

on

By

ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි වී ඇති මෝටර් රථයක් සඳහා අංක තහඩුවක් නිකුත් කිරීම සඳහා අනුමැතිය දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනා මේ මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත්  හිටපු මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ, එම දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික සහකාර තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ ප්‍රියන්ත බණ්ඩාර ඊරියගම සහ ලිපිකරුවකු වන අත්තරගම ගෙදර ධම්මික නිරෝෂන් යන අය අද (01) අධිකරණයට ඉදිරිපත් කළේය.

මෙම නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය ඉදිරියේ කැඳවන ලදී.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදුවන බවය.

මේ ආකාරයෙන්  නීති විරෝධී ලෙස වාහන 177 ක් මෙරටට ගෙන්වා නීතියට පටහැනි  ලෙස ලියාපදිංචි කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් එම නිලධාරින් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නීති විරෝධී ලෙස ලියාපදිංචි කළ ටොයොටා වර්ගයේ ජීප් රථයක් සඳහා අංක තහඩු නිකුත් කිරීමට අනුමැතිය දීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.


(පෙර පුවත 2025 ජුලි 01 ප.ව.3.52 )

හිටපු මෝටර් රථ කොමසාරිස් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වූ නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු තිදෙනෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ආකාරයෙක් ලියාපදිංචි වූ වාහන සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයක් යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ ටොයොටා වර්ගයේ ජීප් රථයකට අදාළ අංක තහඩුව නිකුත් කිරීමට අනුමැතිය ලබා දීම සම්බන්ධව ඔහු සහ ඊට අදාළව අනීතිකව දත්ත ඇතුළත් කිරීමට අවස්ථාව සලසාදීම සහ අදාළ දත්ත ඇතුළත් කිරීම සම්බන්ධව එම දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂ, තොරතුරු තාක්ෂණ ප්‍රියන්ත බණ්ඩාර ඊරියගම සහ ලිපිකරුවෙකු වූ ධම්මික නිරෝශන් නැමැති තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය.

අද (01) අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සැකකරුවන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Continue Reading

පුවත්

රටවිරුවන්ගේ දරුවන්ට විශේෂ දැනුම්දීමක්

Published

on

By

විදේශ රැකියාවෙහි නිරත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ පාසල් අධ්‍යාපනය ලබන දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අයදුම්පත් කැඳවා තිබේ.

2019.01.01 දින සිට 2024.09.15 දක්වා කාලය තුළ කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියාවේ නිරතව සිටින දෙමාපියන්ගේ දරුවන් සදහා මෙම ශිෂ්‍යත්ව පිරිනමනු ඇත.

2024 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත්, 2023 (2024) වර්ෂයට අදාළ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය සමත් හා 2023 (2024) වර්ෂයට අදාළව අ.පො.ස (උසස් පෙළ) විභාගය සමත්ව රජයේ හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයක හෝ නැතිනම් රජයේ කාර්මික විද්‍යාලයක හෝ වෙනත් රජයේ අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය හදාරන දරුවන් සඳහා මෙම ශිෂ්‍යත්ව සඳහා අයදුම් කළ හැකිය.

5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවෙකු සඳහා රු.25,000.00 ක මුදලක්ද, අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් දරුවන් සඳහා රු.30,000.00 බැගින් හා අ.පො.ස උසස් පෙළ විභාගය සමත් දරුවන් සඳහා රු.40,000.00 බැගින් ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිතය.

මෙම ශිෂ්‍යත්ව සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැඳවන අතර, කාර්යාංශයේ නිළ වෙබ් අඩවිය වන www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මේ සඳහා අයදුම් කළ හැකිය.

2024 වර්ෂය තුළදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් 2688 දෙනෙකු සඳහා රුපියල් මිලියන 81.12 ක මුදලක් ශිෂ්‍යත්ව වශයෙන් පිරිනමා ඇත.

Continue Reading

පුවත්

දූෂණ විරෝධී යාන්ත්‍රණය සවිමත් කිරීමට ජපානයෙන් ඇ.ඩොලර් මිලියන 2.5ක්

Published

on

By

මෙරට තුළ දුෂණ විරෝධී යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම අරමුණු කරමින් රාජ්‍ය පාලනයේදී විනිවිදභාවය වගවීම ප්‍රවර්ධනය වෙනුවෙන් වසර තුනක ව්‍යාපෘතියක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කිරීමට ජපන් රජයෙන් ඩොලර් මිලියන 2.5 ක් ලබා දී තිබේ.

දුෂණ විරෝධී යාන්ත්‍රණය ස්ථාපිත කිරීම තුළින් දුෂිත ක්‍රියාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට අදාළව මෙම  ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ සදහා වු ගිවිසුමට ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Akio ISOMATA මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නේවාසික නියෝජිත Azusa Kubota මහත්මිය අතර අත්සන් කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂන නානායක්කාර ඉදිරියේදී  ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේදී අද ( 01) පෙරවරුවේ සිදු විය.

රාජ්‍ය හා ආයෝජන ප්‍රවර්ධන අංශවල ඵලදායීතාවය හා ආයතනික දුෂණ වැළැක්වීමේ යාන්ත්‍රණය හරහා පාලනයේ සහ ව්‍යාපාර භාවිතයන්හි විනිවිදභාවය, වගවීම සහ අඛණ්ඩතාවය ප්‍රවර්ධනය, දුෂණයට අදාළ විමර්ශන ක්‍රියාවලීන් වැඩිදියුණු කිරීම සඳහා ආයතන ශක්තිමත් කිරීම, කොටස්කරුවන් සමඟ සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම, නඩු පැවරීමේ ගුණාත්මකභාවය ශක්තිමත් කිරීම සහ දුෂණයට එරෙහිව ඵලදායි ලෙස සවිබල ගැන්වීම සහ සමාජ වගවීම වැඩිදියුණු කිරීමට පුරවැසියන් බල ගැන්වීම මෙම ව්‍යාපෘතිය තුළින් සිදු කරනු ලබයි.

තරුණ පිරිස් මාධ්‍යවේදීන් සහ ළමුන් මේ සඳහා සම්බන්ධ කර ගැනීම අපේක්ෂා කරනු ලබන අතර, දුෂණයට එරෙහිව අඛණ්ඩව සහ ක්‍රියාකාරීව දායකවීම මෙම ව්‍යාපෘතිය තුළින් සිදු කෙරේ.

නීතිපති ජනාධිපති නීතිඥ, පාරින්ද රණසිංහ, ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහත්වරුන්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ, අයෙෂා ජිනසේන මෙනෙවිය සහ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved