විද්‍යුත් විකාශන අධිකාරිය පිළිබඳ පනත් කෙටුම්පත ඉදිරි සති කිහිපයේ දී මාධ්‍ය ආයතනවලට සහ මැති ඇමැතිවරුන්ට අධ්‍යයනය කිරීමට ලබා දෙන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී ඊයේ (27) පැවසීය.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි ගයන්ත කරුණාතිලක විසින් ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධනගෙන් අසා තිබූ ප්‍රශ්නයක් හා සම්බන්ධ වෙමිනි.
ප්‍රශ්නයට පිළිතුරු දුන් ජනමාධ්‍ය ඇමැතිවරයා
ලියාපදිංචි කළ රූපවාහිනි නාළිකා ගණන 25 ක්. ලියාපදිංචි කළ ගුවන් විදුලි නාළිකා 51 ක් තිබෙනවා. ගුවන් විදුලි හා රූපවාහිනී නාළිකා 76 ක් තිබෙනවා. රූපවාහිනි හා ගුවන් විදුලි ජාතික නාළිකා කොන්දේසි අතර විශාල විෂමතාවයක් තිබෙනවා. එක් එක් ගුවන් විදුලි හා රූපවාහිනි නාළිකාවලට බලපත්‍ර ලබාදීමේ බරපතළ විෂමතාවක් තිබෙනවා. කිසිම විධිමත් බවක් , ක්‍රමවත් බවක් නොමැතිව බලපත්‍ර ලබාදුන් ඒවා තිබෙනවා. මේවා කිසිවකට අපි කව්රුත් වග උත්තර කරුවන් නෙවෙයි. ඒ ඒ මොහොතේ ඇති වූ තත්ත්වයන් අනුව තමයි සිදුවී තිබෙන්නේ.
මම අමාත්‍යවරයා ලෙස විනිවිද භාවයක් හා ඉහළ මාධ්‍ය සංස්කෘතියක් ඇතිකිරීම වෙනුවෙන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයෙන් විශේෂ අවසරයක් ඉල්ලා සිටියා. කැබිනට් මණ්ඩලයෙන් ඒ සඳහා විශේෂ අනුකාරක සභාවක් පත් කළා. ඒ අනු කාරක සභාවේ සභාපතිත්වය දරන්නේ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා. විද්‍යුත් විකාශන අධිකාරිය පිළිබඳ පනත් කෙටුම්පතෙහි වැඩකටයුතු විශාල ප්‍රමාණයක් මේ වනවිට අවසන්. ඒ මඟින් ඒකමතික බවක් ඇතිවන ලෙස විනිවිද පෙනෙන අයුරින් ගුවන් විදුලි හා රූපවාහිනී සඳහා බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලිය විධිමත් හා ක්‍රමවත් කිරීමට අවශ්‍ය නෛතික පසුබිම සකස් කිරීමේ වගකීම දැනට ඉටුකරගෙන යනවා.
පසුගිය කාලයේදී අධ්‍යාපන නාළිකාවක් ආරම්භ කිරීමේ හැකියාව තිබෙනවද කියලා අපි විමසීමක් සිදුකළා. අධ්‍යාපන ඇමැති තුමාත් මමත් ඒ වෙනුවෙන් උත්සාහ කළා. නමුත් අපි ලබා දී තිබෙන සංකේත යටතේ අධ්‍යාපනයට භාවිත කළාම ජාතික රූපවාහිනිය හා ස්වාධින රූපවාහිනිය යන රාජ්‍ය මාධ්‍ය නාළිකාවලට බාධාවන් ඇති වුණා. ඉන් පසුව අපි දෙන්නම එකතු වෙලා අධ්‍යාපනය සඳහා වෙනමම නාළිකාවක් පවත්වාගෙන යාමට නොහැකි බව කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. ඒ අනුව එය අවලංගු කළා.
ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ
අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද එම අනු කමිටුවේ මමත් තවත් මන්ත්‍රිවරු පස් දෙනකුත් කටයුතු කරනවා.මේ වෙනකොට අපි එහි කටයුතු කරමින් සිටිනවා. අධ්‍යයන කටයුතුත් අවසන් සාකච්ඡාත් බොහෝ දුරට සිදුකර අවසන්. එම නව විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත් කෙටුම්පත තව සතියක් දෙකක් යනකොට මේ රටේ මාධ්‍ය ආයතන වලට හා පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට හා මේ වෙනුවෙන් උනන්දුව දක්වන ඕනෑම කෙනෙකුට මේ පිළිබඳව අධ්‍යයනය කරන්නට අවස්ථාව දෙනවා. ඊට පස්සෙ තමයි අපි එය පාර්ලිමේන්තුවට ගේන්නෙ.