පුවත්

නාමල්ගේ කී Onmax DT ඇතුළු පිරමීඩ ජාවාරම් 3කට අපරාධ නඩු!

Published

on

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3කට එරෙහිව අපරාධමය නඩු පැවරීම සඳහා නීතිපතිවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.

මහ බැංකුව විසින් සිදුකරන ලද විමර්ශනයකට අනුව මෙම තීරණය ගෙන ඇති බව මහ බැංකුව පවසයි.

ඒ අනුව Fast3Cycle International Pvt Ltd, Sport Chain App Sport Chain ZS Society Sri Lanka සහ Onmax DT යන පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3ට එරෙහිව ලද පැමිණිලි සම්බන්ධයෙන් මෙලෙස මහ බැංකුව විසින් විශේෂ විමර්ශනයක් සිදුකර ඇත.

ඒ අනුව  මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඉහත ආයතන 3 සහ එහි අධ්‍යක්ෂවරු, ප්‍රවර්ධකවරුන් සහ නිර්මාතෘවරුන් බැංකු පනතේ 83ඇ වගන්තියට පටහැනි ලෙස ක්‍රියාකර ඇති බවට තීරණය කර ඇති බවය.

ඊට අදාළ තීරණය සම්බන්ධයෙන් විශේෂ පුවත්පත් දැන්වීමක් මගින් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබුණි.

මේ අතර, Fast3Cycle International Pvt Ltd නැමැති ආයතනය අනිල් බණ්ඩාර නැමැත්තෙකු විසින් ද, Sport Chain App Sport Chain ZS Society Sri Lanka ආයතනය මහරගම පදිංචි අමිත් වික්‍රමගේ,  කුරුණෑගල ශමල් කීර්ති බණ්ඩාර, පොල්පිතිගම ශානක මධුෂාන් වික්‍රමරත්න, ගිරිබාවේ පදිංචි රෝවින්ද මංජුල මැදවත්ත හා ප්‍රදීප් කුමාර හන්තාන යන අය විසින් ද පවත්වාගෙන ගොස් ඇති බවයි.

එසේම, Sport Chain App Sport Chain ZS Society Sri Lanka විසින් වංචා කර ඇති මුදල රුපියල් කෝටි 880 කට වඩා වැඩි බව ද වාර්තා වේ.

OnmaxDT ඔස්ට්‍රේලියාවේ පිහිටා ඇති සමාගමක් බව පැවසෙන අතර මේ සමාගමට හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට සම්බන්ධකමක් ඇති බවට ද මාධ්‍ය වාර්තා පලව තිබිණි.

කෙසේවුවද, ඒ මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ නාමල් රාජපක්ෂ මහතා Crypto Mining සහ Bitcoin ගණුදෙනු ක්‍රියාත්මක කරන ‘Onmax DT’ නම් සමාගම අතර සම්බන්ධයක් පවතින බවට කෙරෙන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

Trending

Exit mobile version