පුවත්

නාමල් ඇරිය සඳුන් උයනේ ජනපති මන්දිරය හදන්න තීන්දු කරලා

Published

on

රුපියල් කෝටි තිහක මුදලක් වැය කරමින් සකස් කළ ජාතික ‘සඳුන් උයන’ පිහිටි භූමියේ නව ජනාධිපති මන්දිරය හා ජනාධිපති කාර්යාලය ඉදිකිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යටතේ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය වෙනත් සංවර්ධන ව්‍යාපෘතියකට යොදා ගැනීමට තීරණය කර ඇති බැවින් නව ජනාධිපති මන්දිරයක් සහ ජනාධිපති කාර්යාලයක් සඳුන් උයන භූමියේ ඉදිකිරීමට තීරණය වී ඇත. 

ඒ සඳහා පාර්ලිමේන්තු පරිශ්‍රය ආසන්නයේ අක්කර නවයක සකස් කළ ජාතික සඳුන් උයන භූමිය සුදුසු බව පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ද නිර්දේශ කර ඇතැයි පැවසේ.

ඒ අනුව ඉදිරි සැලසුම් සකස් කර වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නාගරික සංවර්ධන අධිකාරියට දැනුම් දී ඇත.

ජාතික සඳුන් උයන භූමියට ආසන්නයේ පිහිටි තවත් ඉඩමක අගමැති කාර්යාලය, අගමැති නිල නිවස ඉදිකිරීමටද තීරණය වී ඇතැයි ජනාධිපති කාර්යාලය කියා සිටී.

ඒ ආසන්නයේ පිහිටි තවත් ඉඩමක අමාත්‍ය මණ්ඩල කාර්යාලය ඉදිරිකිරීමට ඇති හැකියාවද සොයා බලන ලෙස ජනාධිපතිවරයා නාගරික සංවර්ධන අධිකාරියට දැනුම් දී තිබේ. 

මෙම ඉදිකිරීම් සඳහා අවශ්‍ය ඉඩ ප්‍රමාණ අධ්‍යයනය කර වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට දැනුම් දී තිබේ.

සඳුන් උයන ව්‍යාපෘතිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ඉදිකර විවෘත කරන ලදී. 

එහි සඳුන් ගස් දහසක් සිටුවා ඇති අතර ඉදිකිරීම් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් රුපියල් කෝටි තිහක මුදලක් වැයකරන ලදී.

රතු සඳුන් පැළ 300කින් සහ සුදු සඳුන් පැළ 900කින් සමන්විතය.

මෙම උද්‍යානය අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2021 ජූලි 20 වැනිදා විවෘත කිරීසට සැලැසුම් කර තිබුණ ද එය විවෘතකරන ලද්දේ නාමල් රාජපක්ෂ මහතා විසිනි. 

නාගරික සංවර්ධන අධිකාරිය එකළ මෙය හඳුන්වා දෙනු ලැබුවේ රජ දවසින් පසු රාජ්‍ය අනුග්‍රහය ඇතිව ඉදිකළ පළමු උද්‍යානය ලෙසයි.

Trending

Exit mobile version