පුවත්

නාලිකාවල ඇඩ් දමා පිරමීඩ් ගේමක් ගැසූ සහන්ට තහනම් නියෝගයක්

Published

on

අනවසරයෙන් ජනතාවගෙන් මුදල් තැන්පතු භාරගත් පොලොන්නරුවේ සහන් අකලංක නමැති පුද්ගලයාට ශ්‍රී ලංකා මහ බැංකුව තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

අංක 45/5 ඒ, දෙවන හරස් වීදිය, නව නගරය, පොලොන්නරුව යන ලිපිනයෙහි පදිංචි ඇතන්ස් ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් සෙන්ටර් (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගමේ අධ්‍යක්ෂවරයා වන හෙට්ටිආරච්චිලාගේ සහන් අකලංක නමැත්තා මෙලෙස මහ බැංකුවේ අනුමැතියකින් තොරව ජනතාවගෙන් මුදල් තැන්පතු භාරගෙන ඇති බව, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතෙහි 42 වන වගන්තිය යටතේ සිදුකරන ලද විමර්ශනයකින් අනාවරණය වී ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අදාළ සමාගමට සහ පුද්ගලයාට තවදුරටත් අවබෝධතා ගිවිසුම් පත්‍රිකා නිකුත් කිරීම හරහා හෝ වෙනත් කිසිදු ආකාරයකින් තැන්පතු භාරගැනීම සහ මුදල් ව්‍යාපාර කටයුතු කරගෙන යෑම සිදු නොකරන ලෙසටත් විධාන කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විටත් ඉහතින් සඳහන් කරන ලද සමාගමට සහ පුද්ගලයාට කිසිදු ආකාරයකින් තැන්පතු හෝ මුදල් ලබා ගැනීම, ණය ලබා දීම, නව ආයෝජනයන් සිදු කිරීම, වත්කම් විකිණීම හෝ පැවරීම, යම් ගිණුමකට, දේපළකට, ආයෝජනයකට අදාළව සියලු ගනුදෙනු සිදුකිරීම තහනම් කරමින් එවැනි කටයුතු ක්‍රියාත්මක කිරීමේ නියෝග නිකුත් කර තිබේ.

සහන් අකලංක නමැති මෙම පුද්ගලයා දිවයින පුරා පුද්ගලයන් 1000කට වැඩි සංඛ්‍යාවකගෙන් රුපියල් කෝටි 300කට වැඩි මුදල් ප්‍රමාණයක් තැන්පතු වශයෙන් භාරගෙන ඇති බවට තොරතුරු අනාවරණයවී තිබේ.

පිරමීඩ ජාවාරමක් ආකාරයෙන් සිදුකර ඇති ඔහුගේ අනවසර මුදල් භාරගැනීමේ ක්‍රියාවලිය හේතුවෙන් අගතියට පත් පුද්ගලයන් රැසක්ම වරින්වර ඔහුගේ පොලොන්නරුවේ පිහිටි ආයතනය ඉදිරියේ සහ තවත් නගර කිහිපයකම විරෝධතා පවත්වා ඇත.

මෙම පුද්ගලයා සියයට 90 දක්වා පොලී ප්‍රතිශත ලබාදෙන බව පවසමින් පුද්ගලයන්ගෙන් තැන්පතු භාරගෙන ඇති අතර, එම මුදල් හෝ පොලිය ආපසු නොගෙවීම සම්බන්ධයෙන් මේ වන විට තැන්පතුකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවා පැමිණිලි ඉදිරිපත් කර ඇත.

එසේම සිය අනවසර මූල්‍ය ආයතනය සඳහා ප්‍රචාරය ලබාගැනීම සඳහා මෙම පුද්ගලයා විද්‍යුත් නාළිකා කිහිපයකටම මුදල් ගෙවා වැඩසටහන් ප්‍රචාරය කරවාගැනීමටද කරයුතු කර තිබේ.

Trending

Exit mobile version