ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් M/s Goa Shipyard Ltd විසින් ඉදිකරනු ලබන ටොන් 4,000ක පාවෙන තටාකයේ පදනම දැමීමේ උත්සවය ඊයේ (දෙසැම්බර් 06) දින ගෝවා හි ඩෙම්පෝ නැව් අංගනයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාවට මෙරට සිටින ඉන්දීය මහකොමසාරිස් – ගෝපාල් බාග්ලේ මහතා, නාවික හමුදාපති – වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මාර්ගගත ක්‍රමයට එක්විය.
නාවික හමුදාව වෙනුවෙන් මෙම පාවෙන තටාකය ඉදිකර ප්‍රදානය කිරීම සඳහා ගිවිසුමට පසුගිය වසරේ මාර්තු 15දා අත්සන් තැබුණි.
මෙම අවස්ථාව ඇමතූ ඉන්දීය මහකොමසාරිස්වරයා, මෙම ව්‍යාපෘතිය යථාර්තයක් බවට පත් කිරීමට දායක වූ සියලුම පාර්ශ්වකරුවන්ට සිය ස්තූතිය පුද කරමින්, මෙම ව්‍යාපෘතිය නියමිත වේලාවට අවසන් කිරීමට හැකි වනු ඇතැයි ප්‍රාර්ථනා කළේය. එමෙන්ම මෙම උත්සවය භෞතික වශයෙන් මෙන්ම මාර්ගගත ක්‍රමයටද සංවිධානය කිරීම සම්බන්ධයෙන් ඔහු සිය කෘතඥතාව පළ කළේය.