පුවත්

නාවික හමුදාව 38 දෙනෙකුගේ දිවි ගලවා ගනී

Published

on

අද (07) උදෑසන ඩෙල්ෆ්ට් ජැටියේ පිවිසුම් දොරටුවේදී අනතුරට පත් ට්‍රෝලර් යාත්‍රාවක සිටි පුද්ගලයන් 38දෙනෙකු නාවික හමුදාව විසින් බේරාගෙන තිබේ.

යාපනය, පුණ්ගුඩුතිව් දූපතේ පිහිටි කුරිකඩ්ඩුවාන් ජැටියේ සිට ‍ඩෙල්ෆ්ට් දූපත දක්වා පුද්ගලයන් තිස් අට දෙනෙකු සමඟ ගොඩනැගිලි ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ අදාල ට්‍රෝලර් යාත්‍රාව, ‍මුහුදේ පැවති බාදිය තත්ත්වය හේතුවෙන් ඩෙල්ෆ්ට් දූපතේ වරාය පිවිසුම් දොරටුව අසලදී මුහුදු පත්ලේ ගැටී ඇත.

මේ බව උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනය වෙත තොරතුරක් ලැබීමත් සමග ඊට වහා ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනයට අනුයුක්ත වෙරළබඩ මුර යාත්‍රා සහ කුඩා යාත්‍රා යොදාගනිමින් අනතුරට පත් යාත්‍රාව සහ එහි සිටි පුද්ගලයින් නිරුපද්‍රිතව බේරාගැනීමට කටයුතු කර තිබුණි.

යාත්‍රාවේ තිබූ ගොඩනැගිලි ද්‍රව්‍ය තොගයද මුහුදුබත් වීමට නොදී ගොඩ ගැනීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේය.

‘කාලි අම්බාල් 2’ නම් එම යාත්‍රාව ‍ඩෙල්ෆ්ට් දූපතේ වරාය පිවිසුම් දොරටුවෙහි අනතුරට පත්ව ගිලී ගියේ නම්, ‍ඩෙල්ෆ්ට් දූපත වෙත සිදුකරනු ලබන සියලුම ගමනාගමන කටයුතු ඇනහිටීමටත් එහි පරිපාලනයට විශාල බලපෑමක් සිදුවීමටත් ඉඩ තිබුණු බව නාවික හමුදාව පැවසීය.

(ඡායා : navy.lk)

Trending

Exit mobile version