Connect with us

පුවත්

නිකන් දුන්න ඉන්දීය බඩු බෙදන්න කෝටි 20ක් ගෙවලා!

Published

on

ඉන්දිය රජයෙන් පරිත්‍යාග ලෙස ලැබුණු සහල්, අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ රටපුරා බෙදාහැරීමේදී රුපියල් කෝටි විස්සකට ආසන්න මුදලක් ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව වැඩිපුර වැයකරමින් ඇති බවට එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා චෝදනා කරයි.

ඒ අනුව සහල් කිලෝ ග්‍රෑමයක් ප්‍රවාහනයට අය කරනු ලබන සම්මත මිල ගණන් අභිභවා කිලෝ ග්‍රෑමයකට වැඩිපුර රුපියල් පහක් හෝ හයක් ගෙවා ඇති බව ඔහු පවසයි.

දැනට ප්‍රවාහනය කළ සහල් සඳහා කෝටි අටහමාරකට අධික මුදලක්ද ගෙවා ඇත.

ජුනි මාසයේදී ඉන්දියන් රජයෙන් අවස්ථා දෙකකදී ලැබුණු සහල් මෙට්‍රික් ටොන් හතළිස්දහසක්, කිරිපිටි මෙට්‍රික් ටොන් හාරසිය පනහක්, ඖෂධ මෙට්‍රික් ටොන් 4.6ක් දිස්ත්‍රික්ක 25 සඳහා බෙදාහැරීමට ජුනි 15 දින ටෙන්ඩර් කැඳවා ඇත.

ඊට කොන්ත්‍රාත්කරුවන් ලෙස තිදෙනකු ඉදිරිපත් වී ඇතත් ඉන් අයෙක් ටොන් එකක් කිලෝ මීටරයක් දුර ප්‍රවාහනයට රුපියල් 50ක මුදලක් ඉදිරිපත් කර තිබූ නිසා ඔහු ඉවත් කර කිලෝ මීටරයක් සඳහා ටොන් එකකට රුපියල් තිස්පහක මුදලක් ඉදිරිපත් කර තිබූ ඉතිරි දෙදෙනා තෝරාගෙන තිබේ.

එම ආයතන දෙක ප්‍රවාහන ආයතන නොවන අතර ඒවා සහල් මෝල් බවත්, ඉන් එක මෝලකට ටොන් 20 එක් ලොරියක්ද, අනෙක් මෝලට ටොන් දහයට අඩු ලොරි රථ පමණක් ඇති බවත් හෙළි වී ඇතැයි මුදිත් පෙරේරා මහතා කියා සිටී.

සතොස හා සමුපකාර සමිති සතුව රටපුරා ලොරි රථ තිබියදී දිස්ත්‍රික්ක අනුව වෙන වෙනම හෝ කඳුකර හෝ තැනිතලා මාර්ග පදනම අතහැර පවතින මිලට වඩා දෙගුණයකට ආසන්න මුදලක් යටතේ ටෙන්ඩරය පිරිනමා ඇති බවද හෙතෙම පවසයි.

දිස්ත්‍රික් ලේකම්වරුන් ගොවීන්ගෙන් මිලදී ගත් වී සහල් කර ප්‍රවාහනයට හා මේ දිනවල පොහොර ප්‍රවාහනයට කිලෝමීටරයක් දුර සඳහා කිලෝග්‍රෑමයක රුපියල් 6 – 8 අතර මුදලක් ගෙවයි.

කොළඹ හතරවන හරස් වීදියේ සිට ටොන් විස්සේ ලොරියක් අම්පාර, පොළොන්නරුව වැනි ප්‍රදේශවලට සහල් කිලෝග්‍රෑමයක් ප්‍රවාහනයට රුපියල් 5ත් 7ත් අතර මුදලක් අයකරන බව මුදිත් පෙරේරා පවසයි.

කෙසේ වෙතත් ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව අම්පාරට සහනාධාර සහල් ප්‍රවාහනය කළ ලොරියට රුපියල් දෙලක්ෂ හතළිස් දහසකට ආසන්න මුදලක් ගෙවා ඇති බව සභාපතිවරයා සඳහන් කළේය.

පුවත්

සිර දඬුවමට එරෙහිව මහින්දානන්දගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

Published

on

By

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ කැරම්බෝඩ් 14,000  සහ දාම් ලෑලි 11,000 ක් නීතියට පටහැනි ලෙස මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන පනස් තුනකට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවේ වැරදිකරුකර වසර 20 ක සිර දඬුවම් ලබා සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහාධිකරණය වෙත භාර දී ඇත.

පෙත්සම්කරු කියා සිටින්නේ අල්ලස් කොමිසම විසින් ගොනුකළ ඉහත චෝදනාවලට වරදකරු කෙරුණු තමන්ට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් බරපතළ වැඩ සහිත වසර විස්සක සිර දඬුවම් හා දඩ මුදල් නියම කළ බවය.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඇතැම් කරුණු වැරදි ලෙස අර්ථකරණය කරමින් මෙම නඩු තීන්දුව ලබාදී ඇති බවත් ඔහු සඳහන් කළේය.

එසේම විත්තිය විසින් ඉදිරිපත් කළ ඇතැම් කාරණා නඩු තීන්දුව දීමේදී  මහාධිකරණ විනිසුරු මඩුල්ල සැලකිල්ලට ගෙන නොමැති බවත් එම අභියාචනයේ සඳහන් කර ඇත.

ඒ අනුව තමන්ට එරෙහිව පැනවූ එම දඬුවම නීතියට පටහැනි බව විත්තිකාර අභියාචක සඳහන් කර සිටි.

ඒ අනුව අදාල තීන්දුව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කොට තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Continue Reading

පුවත්

“ජනාධිපතිතුමනි එක පෑන් පහරින් මේක ඉවර කරන්න. අපි මාතරින් කට්ටඩියෝ බුක් කරලා තියෙන්නේ.” (වීඩියෝ)

Published

on

By

විදේශ රැකියා කාර්යාංශයේ කෝටි ගණන් මුදල් වංචා කරන බවට සිවිල් බුද්ධි පෙරමුණ චෝදනා කරයි.

මාධ්‍ය හමුවක් කැදවමින් එහි කැඳවුම්කරු  සංජය මහවත්ත මහතා ප්‍රකාශ කලේ ‘රනිල්ගේ ගෝලයෝ .. මනුෂගේ ගෝලයෝ.. විදේශ රැකියා කාර්ය අංශයේ කෝටි ගණන් මුදල් වංචා කල බවය.

එමෙන්ම සිදු වූ කෝටි ගණනක මූල්‍ය වංචා කෝප් කමිටු විසින් අල්ලස් දූෂණ විමර්ශන ඒකකටයත් යවා ඇති අතර  මේ සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරින් රැසක්ම තවමත් සේවයේ සිටින බවත් ඔවුන් චෝදනා කරයි.

වර්තමාන ආණ්ඩුව මෙම හොරු ගැන නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද සිවිල් බුද්ධි පෙරමුණ මාධ්‍ය හමුවේ  පෙන්වා දෙයි.

එහි කැදවුම්කරු සංජය මහවත්ත මහතා,

“ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ඉදිරිපිට අපි විරෝධතා දැක්වූවා.. විදේශගත ශ්‍රමිකයන්ගේ මුදල්,තරුණ සහෝදරවරුන්ගේ මුදල් මංකොල්ල කාලා තියෙනවා.

කෝටි දෙසියකට වැඩිය වංචාවක් මේ සිදු කරල තියෙන බව කෝප් කමිටු වාර්තාවල තියෙනවා. පහුගිය ආණ්ඩුවේ හෙන් චයියෝ  ටික ඉවත් කරන්න.

රටේ ඒජන්සිකාරයන්ටත් රිදිලා තියෙනවා.
ජනාධිපතිතුමන්ට අපි කියනවා, ජනාධිපති තුමණි ඔබතුමාගේ පෑන් පහර එළියට දාන්න. පෑන් පහර ගහන්න විදේශ සේවා එකට. එහෙම නැත්තන් ඔබතුමාගේ ආණ්ඩුවට මිනීපෙට්ටියට පළමු ඇණය ගහන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉන්න සභාපතිවරයා.

මේතරම් මංකොල්ලා කාලා තියෙද්දි, මේ තරම් හොරකම් කරලා තියෙද්දි. මේ හොරු පන්නන්න ආපු ආණ්ඩුවට මේ මහ හොරුන්ව පන්නගන්න බැරිනම් මොකක්ද තියෙන කතාව?

අපි මාතර කට්ටඬියෝ බුක් කරලා තියෙන්නේ.. අපි දුම්මල ගහලා පන්නනවා.. අපි සිවිල් සංවිධාන දුම්මල වරම අතට ගන්නවා..

කොරියා යන තරුණයන්ගේ 50000 ක ගානේ ගහලා තියෙනවා.

කට්ටඩියෝ ටික දුම්මලත් අරගෙන මාතරින් එනවා..”

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

Published

on

By

ගම්පහ ප්‍රදේශ කිහිපයකට ලබන බදාදා (11) පෙරවරු 8. 30 සිට පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ බියගම ජල පවිත්‍රාගාරයේ ස්ථාපිත සූර්ය බල විදුලි පද්ධතිය ප්‍රධාන පද්ධතිය හා සම්බන්ධ කිරීමේ හා වැඩි දියුණු කිරීමේ කාර්ය හේතුවෙනි.

පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක, සීදූව නගර සභා බල ප්‍රදේශ මෙන්ම කැළණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල, කටාන, මිනුවන්ගොඩ හා ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව නිවේදනය කරි.

ජල සැපයුම අත්හිටුවීමෙන් පාරිභොගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ මණ්ඩලය කණගාටුව පළකර සිටියි.

ඉතා අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙසයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved