ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින්, පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සම්බන්ධයෙන් දුන් පොරොන්දු තවමත් ඉටු වී නොමැති බවත්, ඒ සඳහා මූලික වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට පවා නොහැකි වීම ගැන බලවත් කණගාටුවක් ඇති බවත් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් ප්‍රකාශ කළහ.
දේව මෙහෙයකදී අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පැවසූහ.
“වසර හයකට පෙර සිදු වූ මෙම භයානක ප්‍රහාරය පිළිබඳ බොහෝ කතාබහ කළද, එහි පිටුපස ක්‍රියාත්මක වූ කණ්ඩායම හඳුනා ගැනීමට තවමත් අපට නොහැකි වී ඇත. බොහෝ උත්සාහයන් තිබුණත්, වසර හයක කාලයක් තිස්සේ මෙම විමර්ශනය ඉදිරියට ගෙන යාමට නොහැකි වීම, ඒ මිනිසුන්ගේ ජීවිතවලට අගෞරවයක් කිරීමකි,” යැයි උන්වහන්සේ සඳහන් කළහ.
අධිපති කොමිසන් සභා වාර්තාවේ පළමු වෙළුමේ ඇතුළත් නිර්දේශ 200කට අධික ප්‍රමාණයක් තිබුණත්, ඒවා ක්‍රියාත්මක කිරීමට කිසිදු දේශපාලන නායකයෙක් හෝ පක්ෂයක් මේ වන තෙක් කටයුතු කර නොමැති බවත්, ඒ සඳහා නිසි යාන්ත්‍රණයක් ආරම්භ කිරීමටද අපොහොසත් වී ඇති බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.
“විශේෂයෙන්, මෙම ව්‍යසනය ගැන ඉදිරියෙන් දැන සිටි බවටත්, එය වැලැක්වීමට නිල බලයෙන් වගකීමක් තිබූ බවටත්, කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් හිටපු ජනාධිපතිවරයකු, අගමැතිවරයකු, පොලිසියේ හා ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන් සම්බන්ධයෙන් වාර්තාවේ නිර්දේශ ඇතත්, නීතිපති දෙපාර්තමේන්තුව හෝ එම ආයතන මගින් කිසිදු විනය හෝ නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව බලවත් කණගාටුවෙන් සඳහන් කළ යුතුය,”
“නීතිපති දෙපාර්තමේන්තුව මේ දක්වා මේ පිළිබඳ කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ලැජ්ජා සහගත ය,” යැයි උන්වහන්සේ අවධාරණය කළහ. “ඇතැම් දේශපාලන නායකයන්ගේ බලපෑම් හමුවේ, රජයේ ඉහළ යැයි කියන ආයතනවල හා නිලධාරීන්ගේ හැසිරීම අපට පෙනෙන්නට තිබේ,”
පසුගිය මැතිවරණ සමයේදී, රජය විසින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට විමර්ශනවලට මගපෙන්වීමට, ඒවාට සහාය වීමට, සහ නඩු කටයුතු පවත්වාගෙන යාමට බලතල ඇති විශේෂ අභිචෝදකවරයකු සහ කාර්යාලයක් ස්ථාපිත කරන බවට පොරොන්දුවක් ලබා දී තිබුණත්, එය මේ දක්වා ඉටු වී නොමැති බව කණගාටුවෙන් සඳහන් කළ යුතු බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.
“ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින්, පාස්කු ප්‍රහාර විමර්ශන සම්බන්ධයෙන් අපට දුන් පොරොන්දු තවමත් ඉටු වී නොමැතිවීමත්, ඒ සඳහා මූලික වැඩපිළිවෙළක්වත් ආරම්භ කිරීමට නොහැකි වීමත් අපව සසල කරන බව කිව යුතුය,” යැයි අගරදගුරුතුමන් අවධාරණය කළහ.
වීඩියෝ – C Top News