පුවත්

නිව් රත්නට කෝටි එකහාමාරක පොල්ලක් තැබූ ඉරේෂා අධ්‍යක්ෂ අසංකට ඇප 

Published

on

මෙරට ප්‍රසිද්ධ සහල් සමාගමක් වන නිව් රත්න සහල් සමාගමට රසායනික පොහොර ගෙන්වා දෙන බව  පවසමින්  රුපියල් එක්කෝටි හැටලක්ෂයක මුදලක් වංචා කළ ඉරේෂා ට්‍රේඩිං පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ අසංක අබේවර්ධනව දැඩි ඇප කොන්දේසි මත මුදාහරින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (05) දින නියෝග කර ඇත.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මහතා විසින් සිදු කළ ඇප ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කර ඇත.

රුපියල් මිලියන පහ බැගින් වූ ශරීර ඇප 2ක් මත සැකකරු මුදාහරින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් ඒ බව ආගමන විගමන පාලකට දැනුම් දෙන ලෙසද නියම කර ඇත.

සැකකරු විවෘත අධිකරණයේදී රුපියල් ලක්ෂ පහක මුදලක් ගෙවීමත් ඔක්තෝම්බර් මස 10වන දිනට පෙර ඉතිරි මුදල් ගෙවීමට වූ එකඟතාවයත් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය සිදුකර තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය සැකකරු සම්බන්ධයෙන් කරුණු දැක්වූ අතර, රක්ෂිත බන්ධනාගාරයේ සිටි සැකකරු ස්කයිප් තාක්ෂණය ඔස්සේ පරීක්ෂා කරමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය සිදු කර ඇත.

පසුගිය ජුනි මාසයේදී මෙම රසායනික පොහොර ගෙන්වා දෙන බව පවසමින් මෙම මුදල් වංචාව සිදු කර ඇති අතර එම මුදල් සාපරාධීව සාවද්‍ය පරිහරණය කර ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු දක්වා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටි අතර, ඉදිරි දින විමර්ශන ප්‍රගතිය අධිකරණයට දන්වා සිටින ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග තවදුරටත් නියෝග කර ඇත.

මූලාශ්‍රය – දිනමිණ

Trending

Exit mobile version