මේ දිනවල පවතින වාරකන් කාලය සමඟ ඇතැම් පුද්ගලයින් දිවයින වටා මුහුදේ නීති විරෝධි ක්‍රම භාවිතා කරමින් මසුන් මැරීමේ කටයුතුවල නිරතව තිබේ.
මෙහිදී Bottom Trawling වැනි දෑ ක්‍රියාත්මක කිරීමෙන් මත්ස්‍යයින් පමණක් නොව සමුද්‍ර ක්ෂිරපායි සත්වයින්ද ජීවිතක්ෂයට පත්වන බවට සාධක හමුවී ඇත.
සතියක කාලයක් තුළදී බස්නාහිර මුහුදු තීරයේ දී පමණක් මෙලෙස මියගිය කැස්බෑ සිරුරු 10කට අධික ප්‍රමාණයක් වනජීවී නිලධාරීන් විසින් සොයා ගන්නා ලදී.
මෙම සතුන්ගේ මරණ පරික්ෂණ සිදුකළ වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් ප්‍රකාශ කරන්නේ මියගිය කැස්බෑ සතුන් අතරින් බොහොමයක් හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් මෙන්ම, අවල්පත් කැඩි ගියාවුත් සහ තුවාල ලැබීම හේතුවෙන් මරණයට පත්වී ඇතිබවයි.
එමෙන්ම ඇතැම් කැස්බෑවුන්ගේ සිරුරු ගොඩබිමට ළඟා වනවිටත් නරක් වී කුණු වී ඇති බැවින් පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරති.
මිනිසුන් විසින් නීති විරෝධි ක්‍රම භාවිතයෙන් මසුන් ඇල්ලීමට යාමෙන් කැස්බෑවුන්ට අමතරව ඩොල්ෆින් ආදි සමුද්‍ර ක්ෂිරපායි සතුන්ද තුවාල වීමට සහ මිය යාමට හේතු වී තිබේ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙලෙස මුහුදු ක්ෂීරපායින් ඇතුළු සත්වයින් මියයාම වලක්වා ගැනීම වෙනුවෙන් නීති විරෝධී මසුන් මැරීමේ ක්‍රම භාවිතා කරමින් මසුන් මැරීමේ නිරතවන පුද්ගලයින් පිළිබඳ තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳ අදාළ ආයතන දැනුවත් කරන ලෙසය.