Connect with us

පුවත්

නුවරඑළියේ අන්‍යන්‍යතාවය තියනවද නිව් යෝක් කරනවද තීන්දු කරන්න – ජනපති

Published

on

වසර 04ක් තුළදී මෙරට ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සඳහා ප්‍රධාන සංචාරක නගරයක් වන නුවරඑළිය දිස්ත්‍රික්කයේ දායකත්වය උපරිමයෙන් ලබා ගැනීමට විධිමත් සැලැස්මක් ඔස්සේ කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ නුවරඑළිය නගර සංවර්ධන සැලැස්ම පිළිබඳ අද (10) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේ දී නුවරඑළිය නව නගර සංවර්ධන සැලැස්ම සහ නුවරඑළිය සංචාරක සැලැස්ම එළිදැක්වීම ද සිදු කෙරිණු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ මෙසේද දැක්වේ :

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රටේ ආර්ථිකය නැවත ගොඩනැගිය නොහැකි බව බොහෝ දෙනා සිතුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා රජය ඇතිකරගත් එකඟතාව සමග නැවත රටේ ආර්ථිකය පිළිබඳ නැවුම් බලාපොරොත්තුවක් තැබීමට සියලුදෙනාට අවස්ථාව ලැබුණු බවයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් ඉලක්ක කර ගනිමින් වසර පුරාම සංචාරකයන් ගෙන්වා ගත හැකි ආකර්ශණීය නගරයක් ලෙස එය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

සංචාරකයන්ගේ අවශ්‍යතා හඳුනාගනිමින් එම සැලසුම් සකස් කිරීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශාල ගොඩනැගිලි වෙනුවට විවේකීව ගත කළ හැකි සෞම්‍ය පරිසරයක් සමගින් එම සංවර්ධන සැලසුම් සකස් කිරීමේ වැදගත්කම පැහැදිළි කළේය.

නුවරඑළිය නගරයේ වැසි ජලය බැස යාම සඳහා විධිමත් ක්‍රමවේදයක් නොතිබීම දීර්ඝකාලින ගැටලුවක් වන  අතර ඒ සඳහා කඩිනම් වැඩපිළිළෙක් ක්‍රියාවට නංවන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා පානීය ජල ගැටලුව විසඳීමට ද විශේෂ අවධානය යොමුකරන ලෙස උපදෙස් දුන්නේය.

නුවරඑළිය නගරය තුළ අවිධිමත්  ලෙස ගොඩනැගිලි ඉදිකරනවා වෙනුවට නිසි සැලැස්මකට අනුව ඉදිකිරිම් සිදු කිරිමේ අවශ්‍යතාව පැහැදිළි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශාල ගොඩනැගිලි ඉදිකිරීම හේතුවෙන් නගරය විනාශ වී ඇති බවත් එය නිව්යෝර්ක් නගරයක් කරනවාද නුවරඑළිය ලෙස පවත්වාගෙන යනවාද කියා තීරණය කළ යුතු බවත් පැවසිය.

මධ්‍යම අධිවේගි මාර්ගයේ කටයුතු අවසන් වීමත් සමග නුවරඑළියට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය ඉහළ යනු ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔවුන්ගේ පහසුකම් සංවර්ධනය සඳහා නිසි සැලැස්මක් යටතේ කටයුතු කිරීමේ වැදගත්කම පැහැදිළි කළේය.

ආයෝජකයන්ට හෝ කිසිදු පාර්ශ්වයකට අවශ්‍ය ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කයේ සම්පත් විනාශ කිරීමට ඉඩ දිය නොහැකි බවත් පරිසර හිතකාමී සහ සැලසුම්සහගත සංවර්ධනයක් දිස්ත්‍රික්කය තුළ ඇති කළ යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එමෙන්ම මෙම කටයුතුවලදී රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන අධිකාරිය මනා සම්බන්ධීකරණයකින් කටයුතු කිරිමේ අවශ්‍යතාව පැහැදිළි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාම්ප්‍රදායික රාමුවෙන් බැහැරව අලුතින් සිතා රටට අවශ්‍ය අලුත් වැඩපිළිවෙළ සමග සියලුදෙනා පෙළගැසිය යුතු බව ද සඳහන් කළේය.

 සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව සියලු අමාත්‍යාංශ ලේකම්වරු, අධිකාරි සහ කොමිෂන් සභාවල සභාපතිවරුන් මෙන්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන් හමුවීමට තමා අපේක්ෂා කරන බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2025 ඉලක්කගත සංවර්ධන සැලැස්ම සාර්ථක කර ගැනීමට සියලු පාර්ශවයන්ගේ දායකත්වය ලබා ගැනීම තම අපේක්ෂාව බව  කියා සිටියේය.

තිරසාර සහ සෞම්‍ය සංවර්ධන වැඩපිළිවෙළක් තුළින් නුවරඑළිය දිස්ත්‍රික්කය  පරිසර හිතකාමී දිස්ත්‍රික්කයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

නුවරඑළිය නගර සංවර්ධන සැලැස්ම යටතේ නගරයේ සිදු කළ යුතු සංවර්ධන කටයුතු සහ උප නගරයක් ලෙස නානුඔය නගරය සංවර්ධනය කිරිම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

වන සංරක්ෂණ කලාප එලසින්ම ආරක්ෂා කර ගනිමින් හරිත නගරයක් ලෙස නුවරඑළිය සංවර්ධනයට සැලසුම් කර තිබෙන අතර නුවරඑළිය කේන්ද්‍ර කර ගනිමින් අනු නගර 05ක් සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.

නුවරඑළියේ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරිම සහ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් රාමායන මධ්‍යස්ථානයක් ඇති කිරීම පිළිබඳව ද මෙහිදි සාකච්ඡා විය.

නුවරඑළිය දුම්රියපොළ  නවීකරණය කර ඒ සමීපයේ උසස් ප්‍රමිතියෙන් යුත් ආර්ථික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ද ජනාධිපතිවරයා උපදෙස් දුන් අතර එමගින් එළවළු ඇසුරුම් කර සුරක්ෂිතව කොළඹට ප්‍රවාහනය කිරීමට ගොවීන්ට හැකියාව ලැබෙන බව ද පෙන්වා දුන්නේය.

තුරඟ තරග පිටිය සහ වැව සංවර්ධනය, වැව අසළ රථගාල් පහසුකම් වැඩි දියුණු කිරීම, නුවරඑළිය නගරය තුළ විධිමත් ජල කළමනාකරණ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය.

එමෙන්ම ප්‍රදේශයේ ජනතාවගේ අදායම් මාර්ග ඉහළ නංවා ඔවුන්ගේ ජීවිත නගා සිටුවීම සඳහා ක්‍රියාත්මක කළයුතු වැඩපිළිවෙළ පිළිබඳව ද දිර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. 

අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී. දිසානායක, සි.බී. රත්නායක, වී.එස්. රාධක්‍රිෂ්නන්, එම්. රමේෂ්වරන් යන මහත්වරුන්ද, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 26 වැනිදා

Published

on

By

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් මස 26 වන සෙනසුරාදා සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනයට පොලීසියෙන් විශේෂ කමිටුවක්

Published

on

By

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මේ වනවිට පොලීසියට ලැබී තිබේ.

ඒ අනුව අදාළ විමර්ශන වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ සභාපතිවරයාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවක් පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ඉදිරි විමර්ශන පිළිබඳ මාධ්‍ය දැනුවත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය.

එම කමිටුවේ අනෙකුත් සමාජිකයින් මෙසේය,

නියෝජ්‍ය පොලිස්පති – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
අධ්‍යක්ෂ – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
අධ්‍යක්ෂ – ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය

මේ අතර මෙම කමිටුව මඟින් තවත් අනුකමිටු ගණනාවක් පිහිටුවා ඔවුන් විසින් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කරමින් පවතින අතර, ඒ අනුව මතුවන නව කරුණු සම්බන්ධයෙන් අලුතින් විමර්ශන ආරම්භ කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කෙසේවෙතත් මෙම පරීක්ෂණ කොමිසම් වාර්තාව පිටු 66,000 – 67,000ක් අතර වන බැවින් දැනට පිහිටුවා ඇති කමිටු මඟින් මෙම වාර්තාව අධ්‍යයනය කරමින් පවතින අතර, ඉක්මනින් මීට අදාළ විමර්ශන ආරම්භ කර ඉදිරි නෛතික කටයුතු අදාළ පුද්ගලයින්ට එරෙහිව සිදුකරනු ලබන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Continue Reading

පුවත්

පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ශෝකය

Published

on

By

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ  (උපත් නාමය ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ) ස්වර්ගස්ථ වීම පිළිබඳ  ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ  සභාපති,ජපානයේ  ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ බලවත් ශෝකය ප්‍රකාශ කරති.

අවස්ථා කීපයකදීම මට හමුවූ ශුද්ධෝතම ප්‍රැන්සිස් පාප් වහන්සේ  අතිශය නිහතමානී කමින් යුක්ත, ආගමික සහජීවනය පිළිබඳ ඉතාමත් ගැඹුරු දර්ශනයකින් යුත් දිළිඳු ජනයා කෙරෙහි මහා ආදරයකින් යුක්ත යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෞරවනීය ශ්‍රාවකයෙකි.

2015 දී ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ අවස්ථාවේ දී මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහාබෝධි විහාරයට සැපත්වීම උන් වහන්සේගේ ආගමික සහජීවනයේ කැපී පෙනුණු සිදුවීමක් විය.උන් වහන්සේ ඒ අවස්ථාවේ දී මා හට ප්‍රකාශ කළේ බෞද්ධ විහාරයකට සැපත් වූ ප්‍රථම පාප් වහන්සේ තමන් බවය.

උන් වහන්සේ 1936 දෙසැම්බර් 17 දින උපත ලැබීය. ජේසුස් වහන්සේගේ සමාජයෙන් (ජේසුයිට් නිකායෙන්)  පාප් වහන්සේ ලෙස පත් වූ පළමු පාප් වහන්සේ ලෙසත් ඇමරිකාවෙන් බිහි වූ  සහ 8 වන සියවසේ සිරියාවෙන් පත් වූ තුන්වන ග්‍රෙගරි පාප් වහන්සේ ගෙන් පසු යුරෝපයෙන් පිටත උපත ලැබූ හෝ හැදී වැඩී උත්තරීතර පාප් වහන්සේ තනතුරට පත් වූ පළමු පාප් වහන්සේ ලෙස ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ රෝමානු කතෝලික පල්ලියේ ඉතිහාසගත වූ චරිතය වේ.

සැබෑ කිතු දහම හා සාමය ලොව පුරා ප්‍රචලිත කිරීමට සිය ජීවිත කාලයම කැප කළ උන් වහන්සේට ස්වර්ග මෝක්ෂ සුවය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු යැයි බානගල උපතිස්ස නා හිමියෝ සිය ශෝක පණිවිඩයෙන් ප්‍රාර්ථනා කරති.

ඡායාරූපය – News1st 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved