Connect with us

පුවත්

නෙවිල් ප්‍රනාන්දු රෝහල නව්‍යකරණයට නව සැලැස්මක්

Published

on

ප්‍රධාන ධාරාවන් කිහිපයක් පිළිබදව අවධානය යොමු කර සුදුසුම සංවර්ධන සැළැස්ම ක්‍රියාත්මක කරමින් මාළඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනානදු රෝහල රටට අතිශය ඵලදායී රෝහලක් ලෙස කඩිනමින් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.

අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ පසුගියදා එම රෝහලේ සිදුකරන ලද විශේෂ නිරීක්ෂණ චාරිකාවකට හා සාකච්ඡාවකට එක්වෙමිනි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සිය ධූරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් පසු රජයේ රෝහලක සිදුකරන ලද පළමු නිරීක්ෂණ චාරිකාව ද මෙය විය.

මෙහිදී අමාත්‍යවරයා රෝහලේ සියලු අංශ නිරීක්ෂණයට ලක් කරමින් අදාල ඉදිරි සැළසුම් සකස් කිරීම සදහා අමාත්‍යංශයේ නිලධාරීන්, විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමුඛ රෝහල් කාර්ය මණ්ඩලය සමග දීර්ඝ සාකච්ඡාවක නිරත විය.

මේ වනවිට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් රෝහල ඉදිරියේදී පවත්වාගෙන යායුතු ආකාරය සහ සංවර්ධනය කළයුතු ආකාරය පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍යවරයා පත්කර තිබෙන විශේෂ කමිටුව එම රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව ව්‍යාපෘති යෝජනාවලිය සකස්කරමින් සිටින බව මෙහිදී අනාවරණය විය.
ඉදිරියේදී ශ්‍රී ලංකාව සෞඛ්‍ය කේන්ද්‍රකරගත් සංචාරක ව්‍යාපාර අංශයෙන් ද ප්‍රධාන කේන්ද්‍ර ස්ථානයක් බවට පත් කිරීම වත්මන් රජයේ ප්‍රධාන ඉලක්කය බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ යටතේ මෙම රෝහල දේශීය වෛද්‍ය ක්‍රමයද සම්බන්ධ කරගනිමින් සංවර්ධනය කිරීමේ හැකියාව පවතින බව පැවසීය. එමෙන්ම නෙවිල් ප්‍රනාන්දු රෝහල ස්ථාපිත කර ඇති භූමිය පිළිබඳව සලකා බලන විට සාර්ථක සංචාරක ව්‍යාපාර ආකෘතියකට ගැලපෙන පසුබිමක් පවතින නිසා එවැනි පියවරක් අනුගමනය කිරීමට පිහිටීමද වඩා යෝග්‍යවනු ඇතැයිද සඳහන් කළේය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් මාසිකව නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වැටුප් ගෙවීම සදහා දැනට රුපියල් මිලියන 40 මුදලක් වැයකරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා තව දුරටත් මෙම රෝහල රජයේ රෝහලක් ලෙස සම්ප්‍රදායිකව පවත්වාගෙන යාමට අරමුණක් නොමැති බවත්, ජාත්‍යන්තරව සහ මෙරට තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් හා නිපුණතාවන්ගෙන් පරිපුර්ණ රෝහල් කාර්ය මණ්ඩලයේ පුහුණුව මෙන්ම ගුණාත්මකභාවයද සැළකිල්ලට ගනිමින් අලුත් ආකෘතියක් යටතේ මෙම රෝහල නව්‍යකරණයකට ලක්කිරීමට සැලසුම් සකස් කරන බව ද අවධාරණය කළේය.

ඇඳන් 1002 ක ඉලක්කගත ධාරිතාවකින් සමන්විත වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල දැනටමත් ඇඳන් 800 ක පමණ ධාරිතාවකින් සමන්විත වන බවත්, මේ වන විට ද ඇඳන් 440 ක පමණ ප්‍රමාණයක් එදිනෙදා භාවිතයට යොදාගෙන ඇති බවත් මෙහි දී අනාවරණය විය. එමෙන්ම සාමාන්‍ය වාට්ටු, වෙන්කරන ලද ඇදන් සහිත වාට්ටු මෙන්ම සුභෝපභෝගී, අර්ධ සුභෝපභෝගී සහ සාමාන්‍ය තත්වයේ කාමර ආදී වශයෙන් කාමර 100 ක පමණ ප්‍රමාණයක් දැනටමත් ස්ථාපිත කර ඇත. මාළඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධව 2013 වර්ෂයේ දී මෙම රෝහල ආරම්භකර ඇති අතර 2017 වර්ෂයේ දී එය රජයට පවරා ගැනීමේ මුලික කටයුතු ආරම්භ වී ඇත.

මෙම නිරීක්ෂණ චාරිකාවට සහ අනතුරුව පැවති සාකච්ඡාව සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, මාළඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනානදු රෝහලේ වත්මන් සභාපති සුනිල් ගලගම, අධ්‍යක්ෂ වෛද්‍ය කමල් ජයසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චමින්ද අල්ගම යන මහත්වරුන් ඇතුළු අමාත්‍යංශ නිලධාරීන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුලු කාර්යමණ්ඩලයේ පිරිසක් සහභාගි වූහ.

පුවත්

කොළඹ – ගුවන් තොටුපොළ නව බස් සේවයක්

Published

on

By

කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා පෞද්ගලික බස් රථ සේවයක් අරඹා තිබේ.

මින් පෙර ඇවරියවත්ත බස් නැවතුම්පොළින් ගමන් අරඹන ලද මෙම බස් රථ සේවය ඊයේ (05) සිට ගුවන්තොටුපොළින් ගමන් අරඹා තිබෙන බව සඳහන්ය.

දැනට පෞද්ගලික අංශය සතු බස් රථ ධාවනයේ යෙදවීමට නියමිත අතර ඉදිරියේ දී ගමන් මලු රැගෙන යාමේ පහසුව සහිත බස් රථ යෙදවීමට බලාපොරොත්තු වන බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පවසයි.

මෙම බස් රථ වල සේවක මහතුන්ට ජනතා හිතවාදී සේවයක් සැපයීම සඳහා නිසි පුහුණුවක් ලබා දීමෙන් පසුව සේවයේ යොදවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම බස් රථ සේවයෙන් රුපියල් 290ක් වැනි මුදලකට කටුනායක සිට කොළඹ බලා පැමිණීමේ අවස්ථාව හිමිවනු ඇත.

ගුවන්තොටු‍පොළ අධිකාරිය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ රජයේ මඟ පෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය අරඹා තිබේ.

Continue Reading

පුවත්

පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම අද

Published

on

By

මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය  ඩිජිටල්කරණයට ලක් කරමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම අද (05) සිදු කෙරේ.

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ සුවිසල් පරිවර්ථනයක් සනිටුහන් කරමින් සෞඛ්‍ය සේවා පද්ධතිය  ඩිජිටල්කරණයට ලක් කරමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධාන්වයෙන් අද (05) පෙරවරුවේ තඹුත්තේගම මූලික රෝහල කේන්ද්‍ර කරගනිමින් දියත් කිරීම  සිදු කෙරනු ඇත.

මෙම පද්ධතිය මෙරට සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ සුවිශාල ඉදිරි පියවරක් වශයෙන් සැලකෙන අතර රට තුළ සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධාන කිරීමේ විශාල සැලැස්මක කොටසක් ද වේ.

වඩා හොඳින් සම්පත් භාවිත කිරීමටත් සංවිධානාත්මක සත්කාර ලබාදීමටත් දත්ත මත පදනම් වූ තීරණ වේගවත්ව ලබාදීමටත් ඉන් හැකියාව ලැබෙනු ඇත.

මෙහි ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීම සඳහා තඹුත්තේගම සහ දඹුල්ල අවට රෝහල් මෙන්ම සෞඛ්‍ය මධ්‍යස්ථාන 31 ක් ආවරණය වන පරිදි නියමු ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මකය

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කර තිබේ.

එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved