ගාල්ල ජාතික රෝහලේ හෘද සහ උරස් කුහර ඒකකයේ දැනට සිටින විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයාගේ කොන්ත්‍රාත් කාලය මෙම 31 වන දායින් පසු නිමා වීමත් සමග දැනට කරන හෘද සැත්කම් නවතා දැමීමට සිදුවන බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
දැනට ගාල්ල ජාතික රෝහලේ මෙම ඒකකයේ ස්ථිර විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයෙකු නොමැති බවත් දැනට එහි සේවය කරනු ලබන්නේ කොන්ත්‍රාත් පදනම මත බඳවාගත් විශ්‍රාමික විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයෙකු බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේ ය.
කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් ඉල්ලීම් සිදු කළද මේ දක්වාම කොන්ත්‍රාත් කාලය දීර්ඝ නොකිරීම නිසා මෙම තත්ත්වය උදා වී ඇත.
මෙම තත්ත්වය මත විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයකු නොමැති වීමෙන් සැත්කම් නතර කිරීම නිසා හෘද රෝගී ජීවිත දැඩි අවදානමකට පත්වන බව රෝගීන්ගේ ඥාතීහු පවසති.
රජය රාජකාරි වේලාවෙන් පසුවද ශල්‍යකර්ම සිදු කිරීමට කටයුතු කරමින් සිටින අවස්ථාවක නියමිත රාජකාරී කාලය තුළ ම ශල්‍යකර්ම නැවතීම බරපතළ ගැටලුවක් බව ඔවුහු පවසති.
රෝගී ජීවිත අවදානමකට ඇද නොදමා හැකි ඉක්මනින් විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයෙකු ලබා දෙන ලෙස ඔවුහු වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
මේ සම්බන්ධයෙන් අප ගාල්ල ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චයූ.එම්. රංගගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු කියා සිටියේ මෙම තත්ත්වය මත ඉදිරියේදී හෘද සැත්කම් නතර කිරීමට සිදුව ඇති බවය.
මූලාශ්‍රය – මව්බිම