පුවත්

“පක්ෂයට නඩු දාපු ෆොන්සේකාට කතා දෙන්න බෑ”

Published

on

පක්ෂයට නඩු දැමූ අයෙකුට නායකත්වය විවේචනය කරන අයෙකුට පාර්ලිමේන්තුවේ කාලය දෙන්නේ කෙසේදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රශ්න කර සිටී.

ඔහු මෙම අදහස් පල කළේ, සමගි ජන බලවේගයේ සභාපති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා තමාට කතා කිරීමට පක්ෂය කාලය වෙන්කර නැතැයි පාර්ලිමේන්තුවේදී කළ චෝදනාව සම්බන්ධයෙන් කළ කරුණු විමසීමකදීය.

සරත් ෆොන්සේකා මහතා පක්ෂයෙන් ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන හෝ එවැනි අදහසක් හෝ නොතිබූ අවස්ථාවක ඔහු වෙබ් අඩවියක පළවූ අසත්‍ය ප්‍රවෘත්තියක් පදනම් කරගෙන පක්ෂයට විරුද්ධව නඩු දැමූ බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කලේය.

පක්ෂයේ නායකයා කිසිදු දිනක ඔහුට කතා නොදෙන ලෙස නොපැවැසූ බවද පක්ෂයට නඩු දැමූ අයෙකු විදියට ඔහුට කාලය වෙන් කිරීම සුදුසු නැති බව තමාට අවබෝධ වීම නිසා එවැනි තීරණයක් ගත් බවද කිරිඇල්ල මහතා කියා සිටියේය.

තමාට විවාදයේදී අදහස් දැක්වීමට කාලය ලබාදෙන්නේ දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගෙන් මීට දින දෙකකට පෙර විමසූ අවස්ථාවේදී කාලය නොදෙන ලෙස ඉහළින් දැනුම් දී ඇතැයි පවසා කාලය දීමට නම් ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට උදව් කරන්නේ දැයි විමසූ බව සරත් ෆොන්සේකා මහතා විසින් පාර්ලිමේන්තුවේදී පසුගියදා ප්‍රකාශ කරන ලඩී.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, පාර්ලිමේන්තුවේ කතා කිරීමට කාලය ගැනීමට කාට හෝ කඩේ යෑමට අවශ්‍යදැයි එහිදී විමසා සිටි ෆොන්සේකා මහතා විපක්ෂයෙන් කාලය නොලැබුණ හෙයින් තමා කතාව පැවැත්වීමට ආණ්ඩුවේ අනුග්‍රහය ලබාගත් බවය.

Trending

Exit mobile version