Connect with us

පුවත්

පරිප්පු එවූ ඕස්ට්‍රේලියානුවන්ට දුන් පරිප්පුවක් ගැන ජනපතිට ලියලා!

Published

on

ව්‍යාජ ලිපි ලේඛන සකසා සිය ව්‍යාපාරය අත්පත් කරගෙන ඇමරිකානු ඩොලර් දෙලක්ෂ හතළිස් තුන්දහස් හයසිය දහයක (243,610) මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යට ගසා ඇතැයි ඔස්ට්‍රේලියානු පුරවැසියන් දෙදෙනකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කළ ලිඛිත පැමිණිල්ලක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන්නැයි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.Unit 11, 24-26 Carrick Drive, TULLAMARINE VIC 3043 දරණ ලිපිනයෙහි ලියාපදිංචි කාර්යයාලය පිහිටි Bulk Buy Grains (Aus) Pty Ltd යන ඔස්ට්‍රේලියාවේ ලියාපදිංචි සමාගමේ අධ්‍යක්ෂක ධූරයන් දරණ රාජරත්න මනෝජ් දුෂ්‍යන්ත සහ මැක්ස්වෙල් මර්වින් පෙරේරා යන දෙදෙනා විසින් අදාළ ලිපිය ජනපතිවරයාට යොමුකර තිබිණි.

මෙම ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයන් දෙදෙනා වසර කිහිපයකට පෙර මෙරට සමාගම් නීතිය යටතේ කඩුවෙල” කොතලාවල” සීවලී මාවත” 52බී1 යන ලිපිනයෙහි Life Austrailia (Pty) Ltd නමින් වන සමාගමක් සමඟ ඔස්ට්‍රේලියාවේ සිට පරිප්පු ශ්‍රී ලංකාවට එවීම සදහා වන එකගතාවයකට එළ තිබේ.

ඒ අනුව Life Austrailia (Pty) Ltd සමාගම පරිප්පු මෙරටට ගෙන්වා පිරිසිදු කොට ලංකාවේ බෙදාහැරීමට සහ සෙසු රටවලට අපනයනය කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

 Life Austrailia (Pty) Ltd සමාගම තරංගා සජීවනී පෙරේරා නැමැත්තියට අයත් එකක් බව පැවසේ.

පසුගිය කොරෝනා සමයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වූ මෙම ඔස්ට්‍රේලියානු ව්‍යාපාරිකයන් දෙදෙනා සිය ව්‍යාපාර කටයුතු ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ සිදුකර තිබේ. 

ඔස්ට්‍රේලියාවේ සිට ලංකාවට එවා තිබූ පරිප්පු කන්ටේනර් 10ක් ලාංකික ව්‍යාපාරිකයා විසින් අස්ථානගත කර ඇති බවත් ඊට අදාළ මුදල් නොලැබීම හේතුවෙන් තමන් ලංකාවට පැමිණ මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවත් ඔස්ට්‍රේලියානු ජාතිකයෝ දෙදෙනා සිය ලිපියෙන් පෙන්වාදී ඇත.

ඔවුන් විසින් රුපියල් මිලියන සියයක් යොදවා ඉදිකර තිබූ පරිප්පු පිරිසිදු කිරීමේ මෝලද මේ වන විට අතුරුදන්ව ඇතැයි ඔවුහු කියා සිටිති.

පිළියන්දල පොලිසියට පැමිණිල්ලක් සිදුකිරීමෙන් පසු පොලිස් නිලධාරීන් ද සමග එම ව්‍යාපාරිකයන් දෙදෙනා අදාළ ස්ථානය නිරීක්ෂණයට ගොස් තිබේ. 

ඉන් දින කිහිපයකට පසු පිළියන්දල පොලිසියට පැමිණි පුද්ගලයකු පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ පිරිසක් සිය ස්ථානයට අයුතු ලෙස ඇතුළු වී තර්ජනය කළ බවටය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුල් අවධියේදී ඊට අදාළ විමර්ශන නිසි අයුරින් සිදුකළද මේ වන විට විමර්ශන නිලධාරියාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර ඇතැයි එම ව්‍යාපාරිකයන් විසින් ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ සඳහන්ය.

එම ව්‍යාපාරිකයන් දෙදෙනා විසින් මේ පිළිබඳව ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාලය, මහජන ආරක්ෂක ඇමැතිවරයා, නීතිපති වරයා, පොලිස්පතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (බස්නාහිර පළාත) ලිඛිතව දැනුවත් කර ඇත.

ඔවුන් ජනාධිපති වරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ ලංකාවට පැමිණෙන විදෙස් ආයෝජකයන්ට ආරක්ෂාව සහ නීතියේ සාධාරණත්වය ලැබීමට අවකාශ සලසා දෙන ලෙසයි.

මේ අතර, ශ්‍රී ලංකා මිරර් අප කළ සොයා බැලීමකදී ඉකුත් මැයි 09 වැනිදා අරලියගහ මන්දිරය ඉදිරිපට සහ ගාලු මුවදොර පිටියේදී හටගත් කලබලකාරී සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පොදුජන ගුරු සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ මහත්මියගේ පුත්‍රයා වන සමුදිත ගේ  මැදිහත්වීම නිසා මේ සම්බන්ධ පොලිස් පරීක්ෂණ යටපත්ව ඇතැයි ඕස්ට්‍රේලියානු ව්‍යාපාරිකයන්ගෙන් චෝදනා එල්ලව තිබේ.

කෙසේවුවද, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සමුදිත නැමැත්තා මෙලෙස බලපෑම් සිදුකරනු ලබන්නේ ඔහු විවාහවීමට සැරසෙන්නේ මෙහි මේ ගැටුමේ ශ්‍රී ලාංකේය පාර්ශවය වන තරංගා සජීවනී පෙරේරා නැමැත්තියගේ දියණිය බවද පැවසේ.

ඕස්ට්‍රේලියානු ජාතිකයින් විසින් ජනපතිවරයාට යවන ලද ලිපිය පහත දැක්කේ.

කඩුවෙල “කොතලාවල” සීවලී මාවත” 52බී1 යන ලිපිනයෙහි පිහිටි පරිප්පු පිරිසිදු කිරීමට පිහිටුවා ඇති ස්ථානයේ ජායාරූප පහත දැක්වේ.

පුවත්

 පෝට් සිටි මුහුදේ ගිලී අතුරුදන් වූ සරසවි සිසුවාගේ දේහය හමුවේ (UPDATE)

Published

on

By

කොළඹ වරාය නගරයේ කෘතිම වෙරළ තීරය අයත් මුහුදේ පිහිනමින් සිටියදී දියේ ගිලී අතුරුදන් වූ සරසවි සිසුවාගේ මළ සිරුර හමු වී තිබේ.

ඒ කොළඹ වරාය පොලීසිය නාවික කොට්ඨාසයේ කිමිඳුම්කරුවන්, රංගල නාවික හමුදා කිමිඳුම්කරුවන් ඒකාබද්ධව අද (27) දින සිදුකළ මෙහෙයුමක් අතරතුරදීය.

මෙලෙස දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ 21/22 කණ්ඩායමේ අධ්‍යයන කටයුතු ඛළ ජනිදු චමෝද් නම් සිසුවෙකි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු කොළඹ වරාය පොලීසිය විසින් සිදුකරති.


(පෙර පුවත 2025 ජූනි 27 පෙ.ව.8.50 )

පෝට් සිටි මුහුදේ සරසවි සිසුවෙක් අතුරුදන්

කොළඹ වරාය නගරයේ කෘත්‍රීම වෙරළ තීරය අයත් මුහුදේ පිහිනමින් සිටි සරසවි සිසුන් අතරින් තරුණයෙකු අතුරුදහන් වී තිබේ.

ඒ පිළිබඳව කොළඹ වරාය පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

අතුරුදහන් වූ පුද්ගලයා වයස අවුරුදු 24ක් වන අස්ගිරිය, ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කොළඹ විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ඊයේ (26) උදෑසන කාලයේ විනෝදාංශයක් ලෙස ස්නෝකල් පැළැඳ මුහුදේ පිහිනමින් මුහුදු පතුල නීරීක්ෂණ කරමින් සිටියදී එක් සිසුවෙකු මෙලෙස අතුරුදහන්වී තිබේ.

පසුව ඔහු පැළැඳ සිටි ස්නෝකලය ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

අතුරුදන් වූ පුද්ගලයා සොයා කොළඹ වරාය පොලීසිය, නාවික කොට්ඨාසයේ කිමිඳුම්කරුවන්, රංගල නාවික හමුදා කිමිඳුම්කරුවන් ඒකාබද්ධව මෙහෙයුම් දියත් කර ඇති අතර, කොළඹ වරාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිට ඇප (UPDATE)

Published

on

By

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම සැකකරු අල්ලස් කොමිසම විසින් අද (27) දහවල් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවට පමුණුවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසමේ සහ විත්තිය නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය අදාළ සැකකරු රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට නියම කළේය.

ඊට අමතරව සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවත් ඔහුගේ විදේශ ගමන් තහනම් කරන බවයි මහේස්ත්‍රාත්වරිය කියා සිටියේය.

මෙහිදී මහෙස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමේ නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම නඩුකරයට අදාළව තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබේදැයි විමසීය.

ඊට පිළිතුරු දෙමින් අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළේ, එවක විෂය භාර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙහි සැකකරුවකු ලෙස නම්කර අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙන බවය.

අල්ලස් කොමිසම වෙනුවෙන් එහි සහකාර අධ්‍යක්ෂ සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්  2013 වසරේ ඔක්තෝම්බර් මස 25 වනදා ලැබුණු නිර්නාමික පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කළ බව සඳහන් කළේය.

කිරින්ද ධීවර වරායේ වැලි පිරිසිදුකර වෙළඳපොළට මුදා හැරීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීමට අදාළව ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා එවක ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබූ බව සඳහන් කළේය.

ඒ යටතේ පිරිසිදු කර වෙළඳපොළට මුදාහරණ වැලි කියුබ් එකක් සඳහා රුපියල් 300 මුදලක් ගෙවීමට අදාළ සමාගම එකඟ වී ඇති අතර සෙසු පහසුකම් එම සමාගම විසින්ම සලසා ගැනීමටත් එකඟ වී තිබෙන බව අල්ලස් කොමිසමේ නිලධාරිනිය සඳහන් කළාය.

එහෙත් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරගෙන යාමේදී ධීවර වරාය නීතිගත සංස්ථාව සතු වැලිගොව්වා නෞකාව මෙන්ම අනෙකුත් පහසුකම් ද  අදාළ කොරියානු සමාගම වෙත ලබාදීමට සිදුවී ඇති බවත් ඒ තුළින් ධීවර වරාය නීතිගත සංස්ථාවට රුපියල් ලක්ෂ 262ක පාඩුවක් සිදුව ඇති බවත් එම නිලධාරිනිය කියා සිටියාය.

මෙවැනි විදේශීය ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පෙර ඒ සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අනුමැතිය ලබා ගැනීම මෙන්ම අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වුවත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී එම නීතිමය අවශ්‍යතා සම්පූර්ණ කර නොමැති බවයි අල්ලස් කොමිසමේ නිලධාරිය කියා සිටියේය.

මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නීතිමය ක්‍රමවේදයෙන් බැහැරව ක්‍රියාත්මක කර ඇති බවත් ඒ සඳහා භූ විද්‍යා සහ පතල් කාර්යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය වැනි ආයතනවලින් ශක්‍යතා අධ්‍යයන වාර්තා ලබාගෙන නොමැති බවත් සඳහන් කළේය.

මෙම ක්‍රියාවලිය තුළින් ධීවර වරාය නීතිගත සංස්ථාවේ එවක සභාපතිවරයා වශයෙන් කටයුතු කළ මෙම සැකකරු අල්ලස් පනතේ දූෂණය නැමැති වරද සිදුකර ඇති බවත් ඔහු සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් එම නිලධාරිනිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා සඳහන් කළේ මෙය වසර 13 කට වඩා පැරණි පැමිණිල්ලක් බවත් අදාල කාල සීමාව තුළ මෙම සැකකරු විසින් කිසිදු සාක්ෂිකරුවකුට බලපෑම් සිදුකර නොමැති බවත් පැවසුවේය.

අදාළ කොරියානු සමාගම  ගෙවීම් පැහැර හැරීමක් සිදුකර තිබුණේ නම් එය අයකර ගැනීම සඳහා නඩු පැවරීමට පියවර ගත යුතු බවත් එහෙත් ධීවර වරාය නීතිගත සංස්ථාව එවැනි පියවරක් ගෙන නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

77 වන වියේ පසුවන සිය සේවා දායකයා රෝගී තත්ත්වයෙන් පසුවන හෙයින් ඔහු ඇපමත මුදාහරින ලෙස ජනාධිපති නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු ඇප මත මුදාහැරීමට නියම කළේය.

ඉන් අනතුරුව පැමිණිල්ල සැප්තැම්බර් මස 26 වන දා කැඳවීමටද නියම වුණි.


(පෙර පුවත 2025 ජූනි 27 ප.ව.3.10 )

ධීවර සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට

ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ මහතා අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සංස්ථාවේ සිදුවු අක්‍රමිකතාවයකට අදාළව ඒ මහතාව අත්අඩංගුවට ගෙන ඇත.

Continue Reading

පුවත්

අතුරුදන් වූ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා උණවටුනෙන් හමුවෙයි (UPDATE)

Published

on

By

ජාතික ජන බලවේගයේ අතුරුදන් වූ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා අද (27) සවස ගාල්ල, උණවටුන මුහුදු තීරයේ සිටියදී සොයාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ඔවුන් දෙදෙනාට කිසිදු හානියක් සිදුව නොමැති බවය.

අදාළ මන්ත්‍රිවරයා කනංකේ පොලීසියට පැමිණ ඇති බවද පොලීසිය පවසයි.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද (27) පැවති අතර, එහිදී මොවුන් දෙදෙනා පැහැරගැනීමකට ලක්ව තිබුණි.

මන්ත්‍රිවරු දෙදෙනෙකු පැහැරගැනීමේ සිද්ධියක් පදනම් කරගනිමින් ඇතිවූ නොසන්සුන්තාවක් හේතුවෙන් වැලිගම ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීමේ කටයුතු කල් තැබීමට අද සිදුවුණි.

ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය සභිකධුර 22ක් හිමිකරගෙන තිබූ අතර සමගි ජනබලවේගය ඇතුළු සෙසු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් හිමිකරගෙන තිබූ සභිකධුර සංඛ්‍යාවද 22කි.

ඒ අනුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාගැනීම වෙනුවෙන් දකුණු පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9.30ට පමණ සභාවේ කටයුතු ඇරඹුණි.

නමුත් එම අවස්ථාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රිවරයෙක් සහ මන්ත්‍රිවරියක් සභාවට පැමිණ නොසිටි අතර ඔවුන් දෙදෙනා පැහැරගැනීමට ලක්ව ඇතැයි එම පක්ෂයේ සෙසු නියෝජිතයින් සභාවට දැනුම්දී තිබුණි.

ඒ හේතුවෙන් ඔවුන් පැමිණෙන තෙක් සභාවේ කටයුතු අත්හිටුවන්නැයි ඔවුන් පළාත් පාලන කොමසාරිස්වරියගෙන් ඉල්ලා තිබුණි.

පළාත් පාලන කොමසාරිස්වරිය එම අවස්ථාවේ පවසා ඇත්තේ සභාවේ ගණපූරණය පවතින බැවින් එය සිදුකළ නොහැකි බවය.

මේ තත්ත්වය හමුවේ සභාව මිනිත්තු 30කට කල්ලැබීමට පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කිරීමට උත්සාහ කිරීමත් සමඟ එම අවස්ථාවේ සභා පරිශ්‍රයට පැමිණ සිටි ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් පිරිසක් සභා ගැබ තුළට පැමිණ සිය විරෝධය පළ කළේය.

මෙම නොසන්සුන් තත්ත්වය හමුවේ සභාවේ කටයුතු සිදුකරගෙන යාමට නොහැකි විය.

ඒ අනුව දින 30ක කාලයක් තුළ යළි සභාව රැස්වීමෙන් අපේක්ෂාවෙන් සභාව කල්තැබීමට දකුණු පළාත් පාලන කොමසාරිස්වරිය විසින් පියවර ගනු ලැබීය.

මෙලෙස පැහැරගැනීමට ලක්ව තිබුණේ ජාතික ජන බලවේගය නියෝජනය කරන අජිත් ප්‍රියන්ත මන්ත්‍රිවරයා සහ කමනි මාලා අල්විස් මන්ත්‍රිවරියයි.


(පෙර පුවත 2025 ජූනි 27 පෙ.ව.10.51 )

මාලිමා මන්ත්‍රීන් දෙදෙනෙක් පැහැරගෙන (වීඩියෝ)

වැලිගම ප්‍රදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ.

අද (27) දින වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කර ගැනීමේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව තිබූ අතර එයට පැමිණෙමින් සිටි මාලිමාවේ මන්ත්‍රීවරු දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදහන් කර තිබීම මෙම උණුසුම් තත්ත්වය මතුකිරීමට හේතු වී තිබේ.

මේ වන විට සභාව පැවැත්වීමට ඉඩ නොදෙන තත්ත්වයක් උද්ගතව ඇති බව සඳහන්ය.

මාලිමාවේ මන්ත්‍රීවරුන් දෙදෙනා රැගෙන පැමිණියහොත් පමණක් සභාවේ කටයුතු ආරම්භ කිරීමට යෝජනා වී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved