මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හට ස්ථානීය පරීක්ෂණ සිදුකරන කට්ටල ලබා නොදීම හේතුවෙන් ඔවුන් හට ගැටළු රැසකට මුහුණ දීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ඩබ්.ඩී. රෝෂන් කුමාර පවසයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු චෝදනා කරන්නේ මීට දශකයකට පමණ ඉහතදී ඒවා ලබා දුන්නද මේ වන විට කිසිදු ස්ථානීය පරීක්ෂණ කට්ටලයක් තමන්ට ලබා දී නොමැති බවයි.
ලුණු පැකට්ටුවක අයඩීන් තිබේදැයි පරීක්ෂා කිරීම වෙනුවෙන් ඇති පරීක්ෂණ කට්ටල පවා ලබා නොදීම හේතුවෙන් එවැනි සුළු පරීක්ෂණ වෙනුවෙන් පවා අධික වියදමක් වැය කර ආහාර සාම්පල රසායනාගාර වෙත යැවීමට සිදුව ඇති බව ඔවුන් සඳහන් කරයි.
එමෙන්ම වැටලීම් වලදී ආහාර ගබඩා කරන ශීතකරණවල උෂ්ණත්වය පරීක්ෂා කරන්නැයි උපදෙස් ලැබී තිබුණද ඒවා පරීක්ෂා කිරීම වෙනුවෙන් උෂ්ණත්වමානයක්වත් ලබා දී නොමැති බවත් ඇතැම් සෞඛ්‍ය නිලධාරි කාර්යාලයන්හි එම කාර්යාලයටම ඇත්තේ එක් උෂ්ණත්වමානයක් පමණක් බවද ඔවුන් පවසයි.
පොල්තෙල්වල ඇෆ්ලටොක්සින් පරීක්ෂණ පවා කිරීමට වෙනත් රටවල ස්ථානීය පරීක්ෂණ කට්ටල පවතින බවද මෙරට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඒවා ලබාදුනහොත් විශාල වියදමක් ඉතිරි කරගත හැකි බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පෙන්වා දෙති.
වර්ණක පරීක්ෂා කිරීම වෙනුවෙන් අදාළ සාම්පල ජලයේ දිය කර සැක කටයුතු සාම්පල රසායනාගාර වෙත යැවීම හැර වෙන කිසිවක් කිරීමට නොමැති බවද ඔවුහු පෙන්වා දෙති.
ඔවුන් තව දුරටත් කියා සිටියේ සැකකටයුතු සාම්පල එම අවස්ථාවේදීම පරීක්ෂා කර තහවුරු කරගැනීමෙන් අනතුරුව රසායනාගාර වෙත යැවීමට පහසුකම් තිබේ නම් රසායනාගාරයන්හි තදබදය අඩු කරගැනීමටත් වියදම අඩු කරගැනීමටත් හැකිවන බවයි.