පුවත්

පවිත්‍රාගේ නම කියා යාල බංගලාවේ දඩමස් උයා දඩකයි!

Published

on

යාල ජාතික උද්‍යානයේ ප්‍රභූන් (VIP) සඳහා වෙන්කර ඇති පරණ තොටුපල බංගලාවට (යාල බංගලාව) පැමිණි සංචාරක කණ්ඩායමක් ළඟ තිබී ගෝන මස් සහ වල් ඌරු මස් කිලෝ තුනක් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ බංගලාව වෙන් කළ හැකි වන්න‌ේ වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය හරහා ප්‍රභූන්ට පමණක් වන අතර මේ පිරිස අදාළ බංගලාව වෙන් කරගෙන ඇති ආකාරය පිළිබව ද ගැටලු පවතී.

ඒ් අනුව ඉකුත් 06 සහ 07 යන දෙදින මෙම බංගලාව බෙලිඅත්ත ප්‍රදේශයේ සිට පිරිසකට ලබාදී ඇති අතර ඔවුන් ගෝන මස් කිලෝ එක හමාරක් සහ වල් ඌරු මස් කිලෝ එක හමාරක් බංගලාවට රැගෙන විත්, ඒවා පිසින ලෙස බංගලාවේ මුරකරුට දැනුම්දී තිබේ. 

නමුත්, ඔහු ඊට විරුද්ධවූ අවස්ථාවේදී සංචාරකයන් පිරිස පවසා ඇත්තේ මස් පිසීමට කටයුතු නොකළහොත් වනජීවී වන සංරක්ෂණ ඇමතිවරිය වන පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට පැමිණිලි කරන බවය.

කෙසේ වුවද, මස් තොගය පිසීමට බංගලා මුරකරු කටයුතු නොකිරීම නිසා එම කණ්ඩායමේ අයෙකු බංගලාව තුළදීම ගෝන මස් සහ වල් ඌරු මස් උයමින් සිටියදී යාල වනෝද්‍යානයේ වනජීවි නිලධාරීන් වටලා තිබේ.

‍දඩමස් සන්තකයේ තබා ගැනීමේ වරදට මෙම කණ්ඩායම සමග පැමිණි අයකු වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුට රුපියල් හැට දහසක දඩ මුදලක් නියම කෙරුණි. 

ජාතික උද්‍යානය තුළ දඩමස් රැගෙන ඒම, සන්තකයේ තබා ගැනීම, ප්‍රවාහනය කිරීම සපුරා තහනම් වන අතර මෙලෙස දඩමස් රැගෙන ඒම පිළිබඳ යාල වනජීවී නිලධාරීහු විමර්ශන සිදු කරති.

Trending

Exit mobile version