Connect with us

පුවත්

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා පරස්පර බව ෂාෆ්ටර්ගේ ඥාතීන් කියයි

Published

on

අභිරහස් ලෙස මරණයට පත්වූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය ආගන්තුක පුද්ගලයෙකු විසින් සිදුකළ බවක් මෙතෙක් සිදුකරන ලද විමර්ශන තුළින් අනාවරණයවී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (09) අධිකරණය හමුවේ කියා සිටියේය.

රජයේ රස පරීක්ෂක වාර්තා උපුටා දක්වමින් විමර්ශන නිලධාරින් වැඩිදුරටත් කියා සිටියේ මෙම මරණයට හේතුවී ඇත්තේ සයනයිඩ් ශරීරගතවීමකින් බවය.

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් වූ නීති කෘත්‍යය කොළඹ අංක 02 මහෙස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ අද දිනයේත් කැඳවනු ලැබීය.

එහිදී අධිකාරණය හමුවේ පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත ඇතුළු විමර්ශන නිලධාරින් කණ්ඩායම සිය විමර්ශනවල ප්‍රගතිය වාර්තා කළේය.

අතිරේක මහෙස්ත්‍රාත්වරිය හමුවේ විමර්ශනවලට අදාළව සාක්ෂි ලබාදීම සිදුකළේ උප පොලිස් පරීක්ෂක මනෝජ් ගයන්ත මහතාය.

“ස්වාමිනි, ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා මියගිය ඉකුත් වසරේ දෙසැම්බර් 15 වන දිනට අදාළව ඔහුගේ මල්පාර නිවසේ සිට බොරැල්ල සුසාන භූමිය දක්වා වූ CCTV කැමරා දර්ශන රැසක් අපේ පරීක්ෂාවට ලක්වුණා. ඔහු නිවසින් පිටවෙලා තිබෙන්නේ දහවල් 2ට පමණ. එම නිවසේ ගේට්ටුවේ CCTV දර්ශන සමීපව පරීක්ෂා කිරීමේදී පෙනී ගියා ෂාෆ්ටර් මහතා මියයන අවස්ථාවේ ගෙල පෙදෙසේ තිබී හමුවූ කේබල් පිටයට සමාන කේබල් පටියක් ඔහු නිවසින් පිටවන අවස්ථාවේ රියදුරු අසුනට යාබද අසුනේ තිබූ බව. ස්වාමිනි, එම කේබල් පටිය DISH TV කේබල් පටියක් බව අප විසින් හඳුනාගනු ලැබුවා.”

“එමෙන්ම ස්වාමිනි ෂාෆ්ටර් මහතාගේ ගෙල පෙදෙසේ තිබු මෙම කේබල් පටියට සමාන කේබල් පටියක් ඔහුගේ නිවසේ බිරිඳගේ මවගේ කාමරයට අතුළුවන ආලින්ද කොටසේ වැඩ කොකරන රූපවාහිනි යන්ත්‍රණයක තිබී හමුවුණා. මෙම කේබල් පටි දෙකේම සමානකමක් අප නිරීක්ෂණය කළ බැවින් අපි ඒවා රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් ලබාගැනීමට යොමුකළා.”

“එමෙන්ම මරණකරුගේ ගෙල පෙදෙසේ තිබු DISH TV කේබල් පටි අංක 01 සහ 02 ලෙස අංකනය වී තිබු අතර නිවසේ තිබි හමුවූ DISH TV කේබල් පටි අංකනය වී තිබුනේ අංක 03 සිට 41 දක්වායි. එමෙන්ම ස්වාමිනි මරණකරුගේ දෑත බැඳ තිබු ZIP TIE පටිය කෙරෙහිද අපගේ විශේෂ අවධානයක් යොමුවුණා. මන්ද ඊට සමාන ZIP TIE පටි 11ක් දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ නිවසේ තිබී සොයා ගත්තා.”

අතිරේක මහෙස්ත්‍රාත්වරිය හමුවේ කරුණු දැක්වූ විමර්ශන නිලධාරියා වැඩිදුරටත් මෙලෙස සාක්ෂි ලබාදුනි.

“ස්වාමිනි, මරණකරු මල්පාර නිවසේ සිට බොරැල්ල සුසාන භූමිය දක්වා ගමන් ගන්නා අතරතුර ආපන ශාලාවකින් පැටිස් එකක් සහ පේස්ට්‍රියක් මිලට අරගෙන තිබෙනවා. පසුව අනුභව නොකළ පේස්ට්‍රියක් ඔහුගේ මෝටර් රථයේ තිබී සොයා ගැනුනා. එමෙන්ම ස්වාමිනි මොහු නිවසේ සිට බොරැල්ල කනත්ත දක්වා යන අතරතුර වෙනත් කිසිදු මෝටර් රථයක් හෝ පුද්ගලයෙකු ඔහු ලුහුබැදි බවක් විමර්ශනවලදී නිරීක්ෂණය වුනේ නැහැ.”

“එමෙන්ම වෙනත් කිසිදු පුද්ගලයෙකු මෙම මෝටර් රථයේ ගමන් ගත් බවක්ද අපට අනාවරණය වුනේ නැහැ. ස්වාමිනි, මරණකරුගේ මෝටර් රථය කනත්තට ඇතුළුවන අවස්ථාවේ බොරැල්ල කනත්තේ සේවය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් අප විමර්ශනවලදී ප්‍රකාශ ලබා ගත්තා. ඔවුන් ප්‍රකාශ ලබාදෙමින් සඳහන් කළා කිසිදු බාහිර පුද්ගලයෙකු මෝටර් රථයට නගින හෝ බසින දර්ශනයක් නිරීක්ෂණය නොවු බව. පසුව සුදු මහත පුද්ගලයෙකු කාර් රථයේ පිටුපස සිට ඉදිරියට ගමන් කරනවා ඔවුන් දැක තිබෙනවා.”

“එම පුද්ගලයා මෝටර් රථයේ දොර හැර කෑ ගැසීමත් සමඟයි මෙම සේවකයින් දෙදෙනා එම ස්ථානයට ගොස් ඇත්තේ. එවිට ඔවුන් දැක තිබෙනවා රියදුරු අසුනේ සිටී තැනැත්තාගේ බෙල්ල වම් පැත්තට බරවෙලා, ඇදගෙන සිටී ටී ෂර්ටයේ වමනය තිබූ ආකාරයක්. දෑත් පටියකින් බැඳලා පපු ප්‍රදේශයේත් වයරයක් තිබී තිබෙනවා. පසුව එම පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු සුදු උස මහත පුද්ගලයාත් සමග මෝටර් රථයේ සිටී තැන්ත්තාව රෝහල්ගත කර තිබෙනවා.”

මෙහිදී දිනේෂ් ෂාෆ්ටර් මහතා මරණය සිදුවන අවස්ථාව වනවිට ඔහු සිටි මානසික තත්ත්වය සම්බන්ධයෙන්ද විමර්ශකයා අධිකරණයට සාක්ෂි ලබාදී තිබේ.

“ස්වාමිනි, මෙම මරණයට අදාළව මරණකරුගේ පුද්ගලික සහකරුගෙන් සහ බිරිඳගෙන්ද ප්‍රකාශ සටහන් කර ගත්තා. ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වුණා මියගිය දිනේෂ් ෂාෆ්ටර් නැමැත්තා කලක සිට සිත් තැවුලෙන් පසුවූ බව. ඔහු අධික කේන්ති ගන්නා තත්ත්වයකින්, ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් නැති අයුරින් හැසිරිලා තිබෙනවා. දිනේෂ් ෂාෆ්ටර් විශාදය නැමැති රෝගයෙන් පෙළීම නිසා විශේෂඥ මනෝවෛද්‍ය නිල් ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා. ඔහු ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු සමග මුදල් ගනුදෙනු කර විශාල වශයෙන් පාඩු ලබා ඇති බව ඔහුගේ ජංගම දුරකතන පරීක්ෂා කිරීමේදී පෙනී ගියා.”

“කෙසේ නමුත් එකී කිසිදු පුද්ගලයෙකු හෝ ඔවුන්ගේ සමීපතමයෙකු මෙම මරණය සිදුවූ දින බොරැල්ල කනත්ත ආසන්න ප්‍රදේශයට ආ ගිය බවක් නිරීක්ෂණය වුනේ නැහැ.

ෂාෆ්ටර්ට වැඩිම මුදල් පාඩුව සිදුවෙලා තියෙන්නේ බ්‍රයන් තෝමස්ගෙන්. ඔවුන් දෙදෙනා අතර ගැටුම්කාරී තත්ත්වයක් පවා ඇතිවී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නඩුවකුත් පවතිනවා. බ්‍රයන් තෝමස්ගෙන් පමණක් මරණකරුට සිදුවී ඇති පාඩුව රුපියල් කෝටි 140කට වැඩියි. කෙසේ වුනත් ස්වාමිනි, මෙම මරණය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය රූල් හක් මහතා නිකුත් කළ පශ්චාත් මරණ පරීක්ෂණය වාර්තාවේ දැක්වෙන්නේ මෙම මරණය සයනයිඩ් ශරීරගතවීමෙන් සිදුවූ මරණයක් බවය.”

“එමෙන්ම අප කළ විමර්ශනවලදී මෙම මරණය සඳහා ආගන්තුක පුද්ගලයෙකු පැමිණි බවක් හෝ මරණය සිදුකළ බවක් අනාවරණය වන්නේ නැහැ. කෙසේ නමුත් අප තවදුරටත් විමර්ශන ඉදිරියට පවත්වාගෙන යනවා.”

මෙහිදී දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ බිරිඳ ඇතුළු පවුලේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කියා සිටියේ මෙම මරණයට සම්බන්ධ වෛද්‍ය වාර්තාවල පරස්පරතා රැසක් තමා නිරීක්ෂණය කරන බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු අතිරේක මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය විමර්ශන තවදුරටත් සිදුකෙරෙන බැවින් නඩුව ලබන මස 08 වනදා දක්වා කල් තැබීය.

(අද දෙරණ)

පුවත්

උතුරු කොරියාවට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා හදිසියේ බිඳ වැටීමකට ලක්වුණු අතර මේ හේතුවෙන් රජයේ වෙබ් අඩවි සහ නිල ප්‍රවෘත්ති සේවාවන් වෙත ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ අන්තර්ජලය සහ තාක්ෂණ යටිතල පහසුකම් නිරීක්ෂණය කරනු ලබන පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ එය සයිබර් ප්‍රහාරයකට වඩා අභ්‍යන්තර ගැටළුවක් විය හැකි බවය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ඇනහිටීමත් සමග උතුරු කොරියාවේ ප්‍රධාන නිල ප්‍රවෘත්ති සේවා, විදේශ අමාත්‍යංශය සහ ජාතික ගුවන් සේවය වන එයාර් කොරියෝ ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක ප්‍රවේශය අවහිර වූ අතර එය එරට වේලාවෙන් දහවල් දක්වා පැවැති බවද වාර්තා වේ.

උතුරු කොරියාව ලොව වඩාත්ම දැඩි ලෙස පාලනය කරන ලද අන්තර්ජාල පද්ධතිවලින් සමන්විත රටක් වන අතර එයට ඕනෑම ආකාරයක මාර්ගගත සන්නිවේදනයකට ප්‍රවේශයද ඇතුළත් වේ.

සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය ඇත්තේ රජය විසින් පිහිටුවන ලද අන්තර් ජාලයකට පමණක් වන අතර එය පුළුල් ගෝලීය ජාලයකට සම්බන්ධ වී නොමැත. 

කෙසේ නමුත් රජයේ සහ ප්‍රභූ කිහිප දෙනෙකුට පමණක් විවෘත අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිව ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය වසරවලදී සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ බවට සැක කෙරෙන විශාල අන්තර්ජාල ඇනහිටීම්ද අත්විඳ ඇති බවය.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved