පුවත්

ප්‍රභාකරන්ගේ මරණය ගැන සැකයක් තියාගන්න එපා – යුද හමුදාව

Published

on

ප්‍රභාකරන්ගේ මරණය සම්බන්ධයෙන් කිසිදු සැකයක් ඇතිකර ගැනීම අනවශ්‍ය බව යුධ හමුදාව පවසන බව මාධ්‍ය වාර්තා කර තිබේ.

යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා ඩී.එන්.ඒ. පරීක්ෂණයකින් මෙන්ම සහ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් වන කරුණා අම්මාන් සහ දයා මාස්ටර්, ප්‍රභාකරන්ගේ සිරුර නිරීක්ෂණය කිරීමෙන් පසු ඔහු මියගිය බවට තහවුරු කළ බව කියා සිටී.

එල්.ටී.ටී.ඊ නායකයා සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය තුළ අද වැඩි කතාබහක් ඇති වුණේ ඔහු ජීවතුන් අතර සිටින බවට ලෝක දෙමළ සම්මේලනයේ සභාපති පී.නෙදුමාරන් තමිල්නාඩුවේ අද (13) පැවති මුල්ලිවයික්කාල් සැමරුමකදී කළ ප්‍රකාශයක් හේතුවෙනි.

ප්‍රභාකරන් කඩිනමින් පැමිණ දෙමළ ජනයාට යහපත් ජීවිතයක් සඳහා සැලැස්මක් ප්‍රකාශ කරනු ඇති බවද එහිදී ඔහු පවසා තිබිණි.

නෙදුමාරන්ගේ මෙම ප්‍රකාශය පිළිබඳව ජ්‍යෙෂ්ඨ ඉන්දීය මාධ්‍යවේදියෙකු වන ආර්.කේ. රාධක්‍රිෂ්ණන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ප්‍රභාකරන් පිළිබඳ ඇතැම් ඉන්දීය මාධ්‍ය සහ කණ්ඩායම් ප්‍රචාරය කරන හාස්‍යජනක සහ අස්‍යත්‍ය ප්‍රකාශවලට හසුනොවන ලෙසයි.

මෙවැනි ප්‍රකාශ හරහා ශ්‍රී ලංකාවේ විවිධ ජනකොටස් අතර ගැටුම් ඇතිවිය හැකි බවට ඔහු එමගින් සඳහන් කර තිබේ.

මූලාශ්‍රය – අරුණ

Trending

Exit mobile version