Connect with us

පුවත්

ප්‍රශ්නගත ඖෂධ නිසා දෑස් අන්ධ වූ පිරිසට ලැබෙන වන්දි මුදල මෙන්න ( Update)

Published

on

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේදී අක්ෂි ශල්‍යකර්මවලට භාජනය වූ රෝගීන් කිහිපදෙනෙකුගේ දෘෂ්ටිය අහිමි වීමට අදාළ ගෙවන වන්දි මුදල් ප්‍රමාණය පිළිබඳ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

අදාළ සිදුවීම හේතුවෙන් බලපෑමට ලක්වී ඇති රෝගීන් 17 දෙනෙකු සඳහා පහත සඳහන් පරිදි වන්දි මුදල් ගෙවීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් එලෙස අනුමත කර තිබුණි

රෝගීන් 12 දෙනෙකු සඳහා රුපියල් 1,000,000/

රෝගීන් 02 දෙනෙකු සඳහා රුපියල් 750,000/

එක් රෝගියෙකු සඳහා රුපියල් 700,000/

රෝගීන් 02 දෙනෙකු සඳහා රුපියල් 250,000/

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේදී අක්ෂි ශල්‍යකර්මවලට භාජනය වූ රෝගීන් කිහිපදෙනෙකුගේ දෘෂ්ටිය අහිමි වීම පිළිබඳව වින්දිතයන්ට ගෙවිය යුතු වන්දි ප්‍රමාණය තීරණය කිරීම පිණිස තාක්ෂණික කමිටුවක් පත් කිරීමට 2024-02-12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

ඵ් අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති අතර, එම කමිටුව විසින් අදාළ කරුණු අධ්‍යයනය කර ගෙවිය යුතු වන්දි මුදල් පිළිබඳව සිය නිර්දේශ ඉදිරිපත් කලේය.

එම නිර්දේශ මත පදනම්ව මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණි.


(පෙර පුවත 2024 ජනවාරි 07 ප. ව 12:47)

ප්‍රශ්නගත ඖෂධ නිසා දෑස් අන්ධ වූ පිරිසට රජයෙන් වන්දි

අක්ෂි සැත්කම් හේතුවෙන් අන්ධ භාවයට පත් වූ රෝගීන් වෙනුවෙන් වන්දි ලබා දීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (07) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.

නලින්ද ජයතිස්ස මහතා මෙහිදී සඳහන් කළේ නුවරඑළිය මහ රෝහලේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයට භාජනය කරන ලද රෝගීන් ගණනාවක් අන්ධ භාවයට පත්වීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ කමිටුවේ වාර්තාව ලැබීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවය.

ඒ අනුව, ආබාධිත තත්ත්වයට පත්වෙන ලද රෝගීන් 17 දෙනෙකුට රජය මඟින් වන්දි මුදල් ලබා දීමට කැබිනට් මණ්ඩලය ඊයේ තීරණය කළ බව නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේය..

“නුවරඑළිය මහ රෝහලේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයට භාජනය කරන ලද රෝගීන් ගණනාවකගේ ඇස් අහිමි වීමේ තත්ත්වයන් වාර්තා වුණා. සමහර කෙනෙක් පූර්ණ අන්ධ භාවයට පත් වුණා. ඒ අය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේඛ ලේකම්වරයෙකුගේ මූලිකත්වයෙන් කමිටුවත් පත් කරලා ඒ කමිටු වාර්තාව ලැබුණා..

ඊයේ අපි කැබිනට් මණ්ඩලයේ දී තීන්දු කළා එකක් ඒ ආබාධිත තත්ත්වයට පත්වෙන ලද රෝගීන් 17 දෙනෙකුට රජය මගින් වන්දි මුදල් ලබා දෙන්න.

මෙවැනි ආකාරයේ වන්දි ප්‍රදානයක් මීට කලින් සිදුවෙලා නැහැ. ඒ නිසා අපි දැන් වන්දි ක්‍රමයක් සකස් කරමින් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ඖෂධය ගෙන්වීමට මූලික වෙච්ච අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නත් කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා. ඒ නිසා මේ ගැන එකින් එකට විමර්ශනය කරගෙන යනවා. මීට අදාළ සියලු අයට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ ආයතන වෙතට අපි යොමු කරනවා.”

පුවත්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Published

on

By

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.

පානදුර සහ එගොඩඋයන අතර දුම්රිය මාර්ගයට අද (05) උදෑසන හානි සිදුවීමෙන් මෙම ප්‍රමාදය ඇති වී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය වැඩිදුරටත් පවසයි.

Continue Reading

තවත් බොහෝ දේ

ජගත් පරිසර දිනය අද යි

Published

on

By

ලෝක පරිසර දිනය (World Environment Day)  අදට (ජූනි 05) යෙදි තිබේ.

1972 වසරේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර දී එළඹුණු එකඟතාවකට අනුව සෑම වසරකම ජුනි මස 05 වනදා “ලෝක පරිසර දිනය ” ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

අධික ජනගහණය, පරිසර දූෂණය, වන විනාශය, ගෝලීය උණුසුම ඉහළ යාම වැනි පාරිසරික ගැටලුවලට සමස්ත ලෝකයම මුහුණ දෙමින් සිටි.

මේ වන විට ලෝකය පුරා මතුව ඇති ආහාර සහ බලශක්ති අර්බුදය හමුවේ පරිසරය පිළිබඳ සෑම දෙනෙකුගේම අවධානය යොමුවීම දැඩි අවශ්‍යතාවක්ව පවති.

2025 වසරේදී “Ending plastic pollution ” ප්ලාස්ටික් මඟින් සිදුවන පරිසර දූෂණය අවසන් කරමු යන තේමාව යටතේ පරිසර දිනය සැමරිම සිදුවේ.

මෙම ගෝලීය තේමාව යටතේ ගෝලීය වශයෙන් ප්ලාස්ටික් මගින් සිදුවන දුෂණයට අවසන් විසදුමක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ප්ලාස්ටික් දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රායෝගික ක්‍රියාමාර්ග රැසක් ලබා ගැනීමට අපේක්ෂිතය.

සීඝ්‍රයෙන් ඉහළ යන ප්ලාස්ටික් භාවිතය තිරසාර සංවර්ධනයේ පාරිසරික, සමාජීය, ආර්ථික සහ සෞඛ්‍ය මානයන් කෙරෙහි අහිත කර ලෙස බලපාන බරපතල ගෝලීය පාරිසරික ගැටලුවක් බවට පත්ව ඇත. පසුගිය දශක කිහිපය තුළ ප්ලාස්ටික් නිෂ්පාදනය සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති අතර ගෝලීය වශයෙන් දැනට එය වසරකට ටොන් මිලියන 430 ක් පමණ වේ. වසර 2040 වන විට මෙම අගය දෙගුණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජගත් පරිසර දින ජාතික උත්සවයට සමගාමීව ” ජාතික පරිසර සතියක් ” ප්‍රකාශයට පත් කිරීම සිදුවූ අතර ඒ අනුව මැයි මස 30 දින  සිට ජූනි 05 දින දක්වා සතිය ” ජාතික පරිසර සතිය ”  ක්‍රියාත්මක විය.

මැයි 30 ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ දිනය, මැයි 31 වායු දූෂණය හා එහි අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය, ජුනි 01 පරිසර පවිත්‍රතාවය පිළිබද දැනුවත් කිරීමේ දිනය, ජුනි 02 ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය, ජුනි 03 ජලය හා ජල මූලාශ්‍ර සංරක්ෂණ දිනය, ජුනි 04 වෙරළ කළාප පවිත්‍ර කිරීමේ දිනය ලෙස ක්‍රියාත්මක වූ මෙම පරිසර සතිය තුල අද දිනය (ජුනි 05 )
රුක් රෝපණය හා ජගත් පරිසර දින සැමරුම  වෙනුවෙන් වෙන්කර තිබේ.

මෙම පරිසර සතිය තුල දී පරිසරය සංරක්ෂණය සහ පාරිසරික සංවර්ධනය උදෙසා විවිධ ක්‍රියාමාර්ග රැසක් ලබා ගැනීම සිදු වූ අතර මෙරටට පමණක් ආවේණික මත්ස්‍යෙයකු වන “බන්දුල පෙතියා” සංරක්ෂණය සඳහා එම මත්ස්‍යයන් ජීවත්වන ගලපිටමඩ ප්‍රදේශය වනජීවී අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම, නව රක්ෂිත වනාන්තර 5ක් නම් කර ගැසට් කිරීම ඇතුළු පරිසර හිතකාමී සැලසුම් ගණනාවක් ඒ අතර විය.

අද දිනට යෙදෙන ජගත් පරිසර දිනය නිමිත්තෙන් ජගත් පරිසර  දින ජාතික සැමරුම ජනාධිපති  අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් උදෑසන 8.30 ට කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය.

Continue Reading

පුවත්

නාවික හමුදාව සහ සංවිධානාත්මක පිරිසක අතර සිදු වූ ගැටුම ගැන විධිමත් පරීක්ෂණ

Published

on

By

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ධීවර යාත්‍රාවක් වැටලීමට ගිය නාවික හමුදා යාත්‍රාවකට තවත් යාත්‍රා කිහිපයකින් පැමිණි කිසියම් සංවිධානාත්මක පිරිසක් පහරදීමට තැත්කිරීමේදී සිදුවූ ගිනිඅවි ක්‍රියාත්මක වීමකින් කුච්චවේලි ප්‍රදේශයේ ධීවරයෙකු තුවාල ලබා තිබේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ධීවරයා සහ පහරකෑමට ලක්වූ නාවික හමුදාවේ දෙදෙනෙක් ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් හා විධිමත් පරීක්ෂණ ආරම්භකර ඇතැයි නාවික හමුදාව පවසයි.

නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ නියැලෙන ධීවරයින් හා යාත්‍රා වැටලීමේ මෙහෙයුම් නාවික හමුදාව විසින් මෙරට ජල තීරය ආවරණය වන පරිදි නිරන්තරයෙන් සිදුකරනු ලබයි.

පසුගිය දා (03) රාත්‍රී 7ත් – 7.30ත් අතර කාලයේ නාවික හමුදා යාත්‍රාවක් ත්‍රිකුණාමලය, කුච්චවේලි මුහුදු තීරයේ එවැනිම විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණි.

ඒ, පොඩුකට්ටුව – බෝඩර් පොයින්ට් නමින් හඳුන්වන දිවයිනට ආසන්න දේශීය ජල තීරයේය.

එම අවස්ථාවේ ඩිංගි බෝට්ටුවක සිටි ධීවරයින් 5 දෙනෙක් එහි නීතිවිරෝධී ලෙස ආම්පන්න භාවිත කරමින් මසුන් අල්ලමින් සිට ඇති අතර නාවික හමුදා යාත්‍රාව ඔවුන්ව අත්අඩංගුවට ගෙන ගොඩබිම දෙසට රැගෙන ඒමට කටයුතු කර තිබේ.

කෙසේවෙතත්, එම අවස්ථාවේ සංවිධානාත්මක පිරිස් රැගත් යාත්‍රා කිහිපයක් නාවික හමුදා යාත්‍රාව හඹාවිත් ගැටීමට සලස්වා අත්අඩංගුවටගත් ධීවරයින් පිරිස මුදාගෙන පලායාමට තැත්කළ නාවික හමුදාව පැවසීය.

එහිදී නාවික යාත්‍රාවේ සිටි නාවික හමුදා පුද්ගලයින් ඔවුන්ට දැනුම්දී ඇත්තේ රාජකාරියට බාධා නොකොට සිය කටයුතු නීත්‍යානුකූලව සිදුකිරීමට ඉඩ ලබාදෙන ලෙසය.

එහෙත්, පැමිණි සංවිධානාත්මක පිරිස තවදුරටත් කළහකාරී ලෙස හැසිරී යාත්‍රාව පැහැරගැනීමට උත්සාහකර ඇති අතර තත්ත්වය පාලනය කිරීම සඳහා නාවික හමුදා නිලධාරීන් අහසට වෙඩි තැබීමක් සිදුකර ඇත.

තවදුරටත් නියෝග නොතැකූ සංවිධානාත්මක පිරිස නාවික හමුදා පුද්ගලයින්ට පහරදී පොරබැදීමක් ද සිදුකර ඇති නාවික හමුදාව සඳහන් කළේය.

එහිදී සංවිධානාත්මක පිරිසේ අයෙක්, නාවිකයෙකුගේ රාජකාරී ගිනිඅවිය උදුරාගැනීමට යාමේදී එය ක්‍රියාත්මකවී ඇති අතර ඉන් අදාළ පුද්ගලයා තුවාල ලබා ඇත.

සිද්ධියෙන් පසු සංවිධානාත්මක පිරිස පලාගොස් ඇති අතර නාවික පිරිස සිය භාරයට ගත් සැකකාර ධීවරයන් සමඟ ගොඩබිමට පැමිණ තිබුණි.

තුවාල ලැබූ 24 හැවිරිදි ධීවරයා ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇත.

ඔහු ඇතුළු ධීවරයින් 5 දෙනා කුච්චවේලි – ජාවානගර් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පැවසුවේ, යාත්‍රාව තුළ සිදුවූ පහරදීමේදී තුවාල ලැබූ නාවික පුද්ගලයින් දෙදෙනෙකු ද මේ වනවිට ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබන බවය.

කෙසේවෙතත්, මෙහිදී සිදුව ඇති වෙඩිවැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විරෝධය පළකරමින් ඊයේ පෙරවරුවේ කුච්චවේලි ප්‍රදේශයේ උද්ඝෝෂණයක් ද පැවැත්විය.

සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව මූලික පරීක්ෂණ කටයුතු සිදුකර ඇති අතර ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත පුළුල් හා විධිමත් පරීක්ෂණ ආරම්භ කළ බව නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

නීතිවිරෝධී මත්ස්‍ය කර්මාන්තයේ කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මගින් මේ වසරේ මේ දක්වා ධීවර යාත්‍රා 117ක් සහ පුද්ගලයින් 315 දෙනෙකු අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සඳහා යොමුකර ඇත.

පසුගිය 03 වැනිදා  රාත්‍රීයේ පමණක් සිදුකළ එවැනි මෙහෙයුම්වලින් නීතිවිරෝධී යාත්‍රා 11ක් සමඟ පුද්ගලයින් 48 දෙනෙකු අත්අඩංගුවටගත් බව ද නාවික හමුදාව පවසයි.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved