පුවත්

පාකිස්තානයට ප්‍රබල භූ කම්පනයක්; 2ක් මරුට; 150කට තුවාලයි

Published

on

පාකිස්තානයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.8 ක ප්‍රබල භූමි කම්පාවක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

භූමි කම්පාවේ ප්‍රබලත්වය අසල්වැසි රටවල් වන ඉන්දියාවට සහ ඇෆ්ගනිස්තානයට දැනී ඇති බව එම වාර්තාවල දැක්වේ.

භූම්කම්පාවෙන් දෙදෙනකු මියගොස් 150 දෙනෙක් තුවාල ලබා ඇතැයි පාකිස්තානු මාධ්‍ය වාර්තා කර ඇත.

භූමි කම්පාවේ අපිකේන්ද්‍රය පිහිටා ඇත්තේ, ඇෆ්ගනිස්තානයේ හින්දු කුෂ් කඳුකරයේ කිලෝ මීටර් 180 ක් ගැඹුරින් යැයි භූ විද්‍යාඥයෝ පවසති.

මේ භූමි කම්පාවේ බලපෑම් ඉස්ලාමාබාද්, ලාහෝර්, කොහාට් සහ ජිල්ගිට් බලුකිස්තාන පළාත්වලටත් දැනී ඇති බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

නිවාස සහ ගොඩනැගිලි රැසක් බිමට සමතලා හෝ ඉරි තලා ගොස් ඇතැයි ද පැවැසෙයි. 

කෙසේවුවද, මරණ වාර්තා වන්නේ කයිබර් පක්ටුන්ක්වා පළාතෙනි. 

මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර ඇත්තේ, ඉන්දියාවට, ඇෆ්ගනිස්තානයට පමණක් නොව, මධ්‍යම ආසියානු රටවල් වන කිරිගිස්තානයට, උස්බෙකිස්තානයට, ටජිකිස්තානයට, කසක්ස්තානයට, ටර්ක්මෙනිස්තානයට සහ චීනයට ද භූමි කම්පාවේ ප්‍රබලත්වය දැනී ඇති බවයි.

පාකිස්තානය සහ ඒ අවට රටවල් ඇත්තේ භූ තැටි මායිමකට ඉහළින් බැවින් භූමි කම්පා හට ගැනීම සාමාන්‍යයෙන් සිදුවෙන බව භූ විද්‍යාඥයෝ කියති.

මෙම වසරේ ජනවාරියේ පවා පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර භූමි කම්පාවකින් කැලැඹී ගියේය.

අවසන් වරට මහා භූමි කම්පාවකින් පාකිස්තානය කැලැඹී ගියේ 2005 වසරේදීය. 

එම භූමි කම්පාවෙන් මියගිය ගණන 74,000 පසු කර තිබුණි.

Trending

Exit mobile version