පුවත්

පාඨලීගේ නඩුව කල් යයි

Published

on

අපරික්ෂාකාරී අන්දමින් රිය පදවා අනතුරක් සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව අද (31) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බල්ල්ලේ ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබු අතර එම අවස්ථාවේදී විත්තිකාර පාඨලී චම්පික රණවක අධිකරණයේ පෙනී සිටියේය.

විත්තිකාර චම්පික රණවක වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමරසිරි පණ්ඩිතරත්න මහතා එහිදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම නඩුවට පාදක වන තවත් සමාන නඩුවකට අදාළව විත්තිකරු මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවය.

එම අභියාචනය විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන ලෙස දන්වා අතුරු නියෝගයක් ද නිකුත් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

එමෙන්ම මෙම නඩුවට අදාලව විත්තිකරු විසින් අභියාචනාධිකරණය හමුවේ තවත් අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව නඩුව නොවැම්බර් මස 23 දක්වා කල් තැබීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

2016 වසරේ පෙබරවාරි මස 28 වනදා අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදු කොට සන්දීප් සම්පත් ගුණවර්ධන නැමැති තරුණයෙකු බරපතළ තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබුණි.  

Trending

Exit mobile version