Connect with us

පුවත්

පාතාලය මර්දනයට වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි – ටිරාන්

Published

on

ජනාධිපතිවරයාගේ උපදෙස් මත පාතාල ක්‍රියාකාරකම් මර්දනයට අවශ්‍ය වැඩපිළිවෙළ දැනමටමත් ක්‍රියාත්මක කර ඇතැයි මහජන ආරක්ෂක  අමාත්‍ය ටිරාන් අලස් මහතා කියයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ  ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

වගකිව යුතු රජයක් ලෙස සාමාන්‍ය ජන ජීවිතයට හානියක් වන කිසිඳු ක්‍රියාකාරකමකට රජය ඉඩ තබා නොමැති බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

පොලිස් දෙපාර්තමේන්තුව මේ වන විට දේශපාලනයෙන් තොර ආයතනයක් ලෙස කටයුතු කරන බවත්, රටේ නීතියේ ආධිපත්‍ය උපරිමයෙන් සුරැකීමට පොලිස් දෙපාර්තමේන්තුව කැපවී සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.

පාස්කු ප්‍රහාරයට අදාළ සම්පූර්ණ වාර්තාව කතෝලික සභාවට ලබා දීමට පියවර ගෙන ඇති බවත්, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන විමර්ශනවලට කතෝලික සභාව ද සහාය ලබාදිය යුතුව ඇතැයි ද ඔහු කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිරාන් අලස් මහතා මෙසේද කීය.

“පොලිස් දෙපාර්තමේන්තුව වර්තමානය වන විට දේශපාලනයෙන් තොරව වැඩකටයුතු කරගෙන යනවා.ඒ වගේම රටේ නීතිය උපරිමයෙන් සුරැකීමට ද කැප වී සිටිනවා. පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය පහසුකම් සපයාදීමට ද රජය පියවර ගෙන තිබෙනවා. වත්මන් රජය පත්වී තවම ගතවී ඇත්තේ වසරක පමණ කෙටි කාලයක්. ඒ නිසා වසරක් වැනි කාලයක් තුළ එහි සියලු අඩු පාඩු සම්පූර්ණ කිරීමට හැකියාවක් නැහැ. 

නමුත් වසරක් තුළ පොලිස් දෙපාර්තමේන්තුව විසින් සැලකිය යුතු වැඩකොටසක් ඉටු කර තිබෙනවා. දැනට පොලිස් දෙපාර්තමේන්තුව තුළ නිලධාරීන් 85000ක් පමණ සිටිනවා. පසුගිය කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවරම මැඩලීම සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කළා.

 
ඒ වගේම මත්ද්‍රව්‍යවලින් තරුණයන් බේරා ගැනීමේ පුළුල් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාවට නංවා තිබෙන බව කිව යුතුයි. 

දකුණු පළාතේ පාතාල ක්‍රියාකාරකම්වල වැඩිවීමක් පසුගිය කාල සීමාව තුළ දක්නට ලැබුණා. එම නිසා විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය, ආරක්ෂක අංශ සමඟ එක්ව දකුණු පළාතේ සුවිශේෂී මෙහෙයුම් ආරම්භ කළා. ඒ අනුව දකුණු පළාත තුළ පාතාල ක්‍රියාකාරකම් සැලකිය යුතු අන්දමින් මර්දනයට කිරීමට හැකියාව ලැබී තිබෙනවා.

ඒ වගේම රට පුරා පාතාල ක්‍රියාකාරකම් මර්දනයට අවශ්‍ය වැඩපිළිවෙළ දැනටමත් රජය ක්‍රියාත්මක කර තිබෙනවා. වගකිව යුතු රජයක් ලෙස සාමාන්‍ය ජන ජීවිතයට හානියක් වන කිසිදු ක්‍රියාකාරකමට රජය  කිසිවෙකුටත් ඉඩ තබන්නේ නැහැ.

ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රමවේදය දැන් ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක කර තිබෙනවා. පසුගිය කාලය පුරාම විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට ජනතාව විශාල වශයෙන් පෝලිම්වල රැඳී සිටියා. ඒ වගේම එහි විවිධ වංචා, දූෂණ සිදු වුණා. දැන් එවැනි වංචනික ක්‍රියාවන්ට කිසිඳු ඉඩක් හිමි වන්නේ නැහැ. 

ඒ වගේම දැන් ඕනෑම අයෙකුට පෝලිම්වල නොසිට  විදෙස් ගමන් බලපත්‍රය ලබා ගන්න පුළුවන්. විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළව ඇගිලි සළකුණු ලබා ගැනීමේ ස්ථාන 51ක් දිවයින පුරා ස්ථාපිත කිරීමට ද කටයුතු කර තිබෙනවා. මේ නිසා කෙටි කාලයක් තුළ විදෙස් ගමන් බලපත්‍රය නිවෙසටම ලබා ගැනීමේ  හැකියාව පවතිනවා.”

පුවත්

උතුරු කොරියාවට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා හදිසියේ බිඳ වැටීමකට ලක්වුණු අතර මේ හේතුවෙන් රජයේ වෙබ් අඩවි සහ නිල ප්‍රවෘත්ති සේවාවන් වෙත ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ අන්තර්ජලය සහ තාක්ෂණ යටිතල පහසුකම් නිරීක්ෂණය කරනු ලබන පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ එය සයිබර් ප්‍රහාරයකට වඩා අභ්‍යන්තර ගැටළුවක් විය හැකි බවය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ඇනහිටීමත් සමග උතුරු කොරියාවේ ප්‍රධාන නිල ප්‍රවෘත්ති සේවා, විදේශ අමාත්‍යංශය සහ ජාතික ගුවන් සේවය වන එයාර් කොරියෝ ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක ප්‍රවේශය අවහිර වූ අතර එය එරට වේලාවෙන් දහවල් දක්වා පැවැති බවද වාර්තා වේ.

උතුරු කොරියාව ලොව වඩාත්ම දැඩි ලෙස පාලනය කරන ලද අන්තර්ජාල පද්ධතිවලින් සමන්විත රටක් වන අතර එයට ඕනෑම ආකාරයක මාර්ගගත සන්නිවේදනයකට ප්‍රවේශයද ඇතුළත් වේ.

සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය ඇත්තේ රජය විසින් පිහිටුවන ලද අන්තර් ජාලයකට පමණක් වන අතර එය පුළුල් ගෝලීය ජාලයකට සම්බන්ධ වී නොමැත. 

කෙසේ නමුත් රජයේ සහ ප්‍රභූ කිහිප දෙනෙකුට පමණක් විවෘත අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිව ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය වසරවලදී සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ බවට සැක කෙරෙන විශාල අන්තර්ජාල ඇනහිටීම්ද අත්විඳ ඇති බවය.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved