Connect with us

පුවත්

පාන්පිටි කිලෝවක විකුණුම් මිල රු.198ක් බව නිවේදනය කරන්න – CoPF

Published

on

මුදල් අමාත්‍යාංශයේ ගණනය කිරීම් අනුව පාන්පිටි කිලෝවක මිල රු.198ක් වන බැවින් පාන්පිටි සම්බන්ධ මෙරට ප්‍රධාන සමාගම් ද්විත්වයට අතිරේක ලාභයක් ලැබිය නොහැකිවන පරිදි පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට මේ බව නිවේදනයක් මගින් දැනුම්දෙන ලෙස මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට රජයේ මුදල් පිළිබද කාරක සභාවෙන් (CoPF) නියෝග කර තිබේ.

රජයේ මුදල් පිළිබද කාරක සභාවේ  සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වෙනුවට තාවකාලිකව පත්වූ සභාපතිවරයා වන පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 15දා දින කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මේ පිළිබදව සාකච්ඡා කෙරිණි.

පාර්ලිමේන්තුවේ අනුමතිය ලබාගැනීමට නියමිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ 2023. 06.14 ප්‍රකාශයට පත්කරන ලද අංක 2336/45 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ඇති රෙගුලාසි පිළිබඳව මෙහිදි අවධානය යොමුවිය.

2023.06.14 ප්‍රකාශයට පත්කරන ලද ගැසට්පත්‍රය, මෙරටට පාන්පිටි ආනයනය කරන සමාගම් තොග වැඩිපුර රදවා අතිරේක ලාභයක් ලැබීම වැළැක්වීම අරමුණු කරගනිමින් නිකුත් කළ බව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පැවසු බව කමිටු සභාපතිවරයා පැවසීය. එහෙත් මෙම තත්ත්වය තුළින් මෙරට පාන්පිටි සම්බන්ධයෙන් සියයට අසූවක වෙළදපොල අධිකාරීත්වය හිමි ප්‍රධාන සමාගම් ද්විත්වයට තිරිගු ධාන්‍ය ලෙස ගෙන්වීමට අවස්ථාව හිමිවූ බැවින් අතිරේක ලාභයක් ඉපයීමට හැකියාව ලැබී ඇත්දැයි සොයා බැලිය යුතු බව කමිටුව විසින් පෙන්වා දෙන ලදී.  මේ අනුව 2023.06.14 දින ප්‍රකාශයට පත්කරන ලද ගැසට්පත්‍රය මගින් අපේක්ෂිත අරමුණු කෙ‍තරම් දුරට ඉෂ්ට වී ඇති ද යන්න තහවුරු කිරීම සදහා පැවති පාන්පිටි තොග සහ වත්මන් තොග පිළිබද නිවැරදි දත්ත ලබා දෙන ලෙස මෙහිදී උපදෙස් දෙන ලදී. මේ අනුව මෙහිදී යම් අක්‍රමිකතාවක් සිදුව ඇත්දැයි සොයා බැලීම සදහා අවකාශය ලැබෙනු ඇති බවද කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේය.

සිමෙන්ති මිල ගැනත් වාර්තාවක් ඉල්ලයි
1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ  අංක 2336/71 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග පිළිබදවද මෙහිදී අවධානය යොමු විය. සිමෙන්ති අමුද්‍රව්‍ය ආනයනයේදී අය කරන සෙස් බද්ද සිමෙන්ති අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට රු. 2කින් වැඩිකිරීමට අදාළ මෙම නියෝග පිළිබදව මෙහිදී සාකච්ඡා විය. කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේ ‍සිමෙන්ති අමුද්‍රව්‍යවල සෙස් බද්ද වැඩිකිරීම හරහා ඉදිකිරීම් ක්ෂේත්‍රයට විශාල බලපෑමක් එල්ලවිය හැකි බවයි. තවද වරායට ගොඩබාන සිමෙන්ති මිල සහ විකුණුම් මිල අතර සියලු බදු අඩුකළ විට රු. 700කට ආසන්න ලාභයක් ඇති බව කමිටුව පෙන්වා දුන්නේය.

සිමෙන්ති හා යකඩ ගොඩබාන මිල සහ අදාළ සියලු බදු අඩු කළ විට විකුණුම් මිල අතර විශාල පරතරයක් තබා ගනිමින් අයථා ලාභයක් ලබන බව පෙනීයන බැවින් ඒ පිළිබදව වාර්තාවක් ලබා දෙන ලෙස මුදල් අමාත්‍යාංශයේ සහ නාගරික සංවර්ධන හා  ඉදිකිරීම් අමාත්‍යාංශයේ නිලධාරීන්ට කමිටු සභාපතිවරයා නියෝග කළේය.

බදු වැඩිකිරීමෙන් වන සමාජ බලපෑම ගැන නිසි ඇගයීමක් නෑ

තවද නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරන ලද නිවාස ව්‍යාපෘතිවලින් අඩුආදායම්ලාභී නිවාස, මධ්‍යම පාන්තික නිවාස ඇතුළු නිවාස ගණනාවක වැඩ නැවතී ඇති බව හෙලී වූ අතර ඒ පිළිබදව මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයට සිදුව ඇති බලපෑම පිළිබද වාර්තාවක් ලබාදෙන ලෙස දැනුම් දුන්නේය.

මීට පෙර ලක්ෂ 12ක පමණ වියදමකින් ඉදිකළ නිවසක් ඉදිකිරීම සදහා අවම වශයෙන් රු ලක්ෂ 24ක් පමණ වියදමක් යන බව ද නිලධාරීහු පෙන්වා දුන්හ. රජයේ ආදායම වැඩිකරගැනීම සදහා මුදල් අමාත්‍යාංශය මගින් සිදුකරන වැඩිකිරීම් මගින් සිදුවන සමාජ බලපෑම පිළිබද නිසි ඇගයීමක් සිදු නොකිරීම විශාල ගැටලුවක් බවද කමිටුව විසින් අවධාරණය කරන ලදී. එසේම සිමෙන්ති මිල නියාමනය සදහා අදාළ අංශ මැදිහත්විය යුතු බව කමිටුව ‍විසින් පෙන්වා දෙන ලදී.

ගැසට් 4කට අනුමැතිය
2021 අංක 11 දරන වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2343/60 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝග සහ 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ 2339/08 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝග  සලකා බැලීම සිදුවිය. ආයෝජන ගෙන්වා ගැනීම සදහා සහනදායි පියවර අනගමනය කිරීම ඇතුළු කරුණු පිළිබදව වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ සහ ආ‍යෝජන මණ්ඩලයේ නිලධාරීහු කරුණු පැහැදිළි කළහ.

මේ අනුව උක්ත දක්වා ඇති නිර්දේශවලට යටත්ව මෙම ගැසට් පත්‍ර හතර සදහා රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමතිය හිමිවිය.

පුවත්

බෝල් පොයින්ට් පෑනක් දෙන්නැයි හරක් කටා අධිකරණයෙන් ඉල්ලයි

Published

on

By

2023 වසරේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ රඳවා සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා තමාට බෝල් පොයින්ට් පෑනක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කරන බව ඔහුගේ නීතීඥ ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා අධිකරණයට දැන්වීය.

අදාළ චෝදනා එල්ලවී සිටින හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අද කොළඹ මහාධිකරණයේදී මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ  අධි චෝදනා කියවාදීම සිදු කෙරුණු අවස්ථාවේදී මේ ඉල්ලීම සිදු කළේය.

මෙහිදී විනිසුරුවරයා ත්‍රස්ත විමර්ශන කාර්යාංශයට දැනුම් දුන්නේ මේ වන විට විත්තිකරුට ලබා දෙන ලෙස අධිකරණය විසින් නියම කර ඇති සියලු දේවල් ඒ ආකාරයෙන්ම ඔහු වෙත ලබාදීමට කටයුතු කරන ලෙසයි.

එක් එක් කාරණා සම්බන්ධයෙන් වෙන් වෙන්ව නියෝග නිකුත් කිරීමට තමන්ට හැකියාවක් නොමැති බවත් විනිසුරුවරයා සඳහන් කර සිටියේය.

නඳුන් චින්තක හෙවත් හරක් කටා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා නිර්දෝෂී පුද්ගලයෙකු වන අතර ඔහු කිසිදු අධිකරණයකින් වරදකරු කර නොමැති බව කියා සිටියේය.

තම සේවා දායකයා අධිකරණයට පැමිණ සිටින්නේ පිරිසුදු දෑතින් බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට හේතුව පවා පොලිසිය විසින් ඔහුට කියාදී නොමැති බවත් නීතීඥවරයා කීය.

සිය සේවා දායකයාට එල්ල කර තිබෙන්නේ අත්අඩංගුවෙන් පලායාමේ චෝදනා බවත්, සාමාන්‍ය නීතිය යටතේ එවැනි චෝදනාවක් එල්ල කර වරදකරු වූවත් ඔහුට අධිකරණයෙන් හිමිවන්නේ වසරක සිර දඬුවමක් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඔහුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කරන්නේ ඔහුට දැඩි දඬුවම් ලබා දීම් අරමුණින් යැයිද පැවසීය.

ද්වේෂ සහගතව හෝ වැරදි ලෙස කරුණු වටහාගෙන නීතිපතිවරයා සිය සේවා දායකයාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල කර තිබෙන බවත් මෙය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතයට ලක්කිරීමක් යැයිද ඔහු අධිකරණයට දැන්වීය.

සිය සේවා දායකයාට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවත්වාගෙන යාමට නොහැකි බවත් ඒ අනුව විත්තිකරුට එරෙහිව එල්ලකර තිබෙන අධි චෝදනා ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව මෙම නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ හිටපු කොස්තාපල්පරයකු වන රවිදු සන්ධිප ගුණසේකර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාලිය සමරසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයා කොටි සංවිධානය ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බව සඳහන් කරමින් රැඳවුම් නියෝග ලබාගෙන රඳවාගෙන ප්‍රශ්න කළත් දැන් ඉදිරිපත් කර තිබෙන්නේ අත්අඩංගුවෙන් පලා යෑමට ආධාර අනුබලදීමේ චෝදනා යැයිද කීය.

තම සේවා දායකයා පොලිස් නිලධාරීන්ට කිරි ටොපි ලබා දුන් බව මෙම නඩුවෙන් චෝදනා කර ඇති බවත් කිරි ටොපි ලබාදීම ත්‍රස්තවාදී ක්‍රියාවක් වන්නේ කෙසේදැයි නීතිඥවරයා ප්‍රශ්න කර සිටියේය.

ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරමින් විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා මුල් අවස්ථාවදීම ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිටියේය.

පැමිණිල්ල ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතා කරන බවට නියෝගයක් නිකුත් කරන ලෙස විත්තිය නීතිඥවරු විසින් මහාධිකරණයෙන් ඉල්ලා සිටියත් එවැනි නියෝගයක් නිකුත් කිරීමට මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කළ රජයේ නීතිඥවරයා එවැනි ඉල්ලීමක් සිදු කළ යුත්තේ අභියාචනාදීකරණය හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ බව කීය.

පළමුවන විත්තිකාර හරක් කටා නමැත්තා එවැනි ඉල්ලීමක් දැනටමත් අභියාචනාදීකරණය හමුවේ සිදුකර එය ප්‍රතික්ෂේප කර ඇතැයි සඳහන් කළ රජයේ නීතිඥවරයා අද දින කරුණු ඉදිරිපත් කිරීමේදී විත්තිය විසින් එම කරුණ අධිකරණයට වසන් කළ බවත් පැවසීය.

මෙම විත්තිකරුවන් විසින් සිදු කර තිබෙන වරද ඉතා ලිහිල් කර දැක්වීමට විත්තියේ නීතිඥවරු උත්සාහ කළත් විත්තිකරුවන් කිසියම් රසායනික ද්‍රව්‍යයක් පොලිස් නිලධාරීන්ගේ ශරීර ගත කිරීමට උත්සාහ කර ඇති බවත් එය ශරීරගත වූයේ නම් මරණය පවා සිදුවිය හැකි බවට අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාවේ සඳහන් කර තිබෙන බවත් රජයේ නීතිඥවරයා කීය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම මූලික විරෝධත පිළිබඳ නියෝගය ජුලි මස 03 වනදා ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කළේය.

Continue Reading

පුවත්

මර්වින්, ප්‍රසන්න ජුනි 23දා තෙක් යළි රිමාන්ඩ්

Published

on

By

ඉදිකිරීමක් සඳහා රජයට පවරා ගෙන තිබු කිරිබත්ගොඩ නගරයේ ඉඩමකට කූට ලේඛණ සකස් කිරිම සම්බන්ධව රිමාන්ඩ් බාරයේ සිටින සැකකරුවන් හය දෙනා අතුරින් හිටපු ඇමැති මර්වින් සිල්වා ට ඇප ලබා ගැනීම සදහා දෙවන වරටත් ඉදිරිපත් කර තිබු ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කළ මහර අංක 01 අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය සැකකරුවන් හය දෙනා තවදුරටත් ලබන ජුනි මස 23 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි  නියම කළාය.

මීට ඉහත පැවැති නඩු දිනයේ දී හිටපු ඇමැති මර්වින් සිල්වා ට ඇප ලබා දෙන ලෙසට ඉල්ලමින් ඔහු වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නිතීඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත ද ප්‍රතික්ෂේප කළාය.

මේ අනුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ඇමැති මර්වින් සිල්වා, හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති වෛද්‍ය ජයන්ත සිංහබාහු කබ්රාල්, එහි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මිල්රෝයි පෙරේරා, හිටපු ඇමැති මර්වින් සිල්වාගේ එවකට පාර්ලිමේන්තු කටයුතු හිටපු ලේකම් දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් හා නවීන් වීරකෝන් යන හය දෙනා මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර කෙරිණි.

Continue Reading

පුවත්

කෙහෙළියගේ පැමිණිල්ලකට කටඋත්තර දෙන්න රනිල් CIDයට

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අනිද්දා (11) පෙනී සිටීමට නියමිතය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින්නේ ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කළ පැමිණිල්ලකට අදාළව කට උත්තරයක් ලබාදීම සඳහාය.

මෙරටට ඖෂධ ගෙන්වීමේ සිද්ධියකට අදාළව කෙහෙලිය රඹුක්වැල්ල මහතා මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

එම පැමිණිල්ලට අදාළව කෙරෙන පරීක්ෂණ සඳහා පසුගිය රජයේ මැති ඇමතිවරුන්ද මේ වන විට ප්‍රකාශ ලබා දී තිබෙයි.

කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමට අදාළව රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මෙම ප්‍රකාශය ගැනෙන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved