Connect with us

පුවත්

පාර්ලිමේන්තුවට ආ ඇඳ කාගෙද?; ඒක ගෙනාවේ ජනපතිට හාන්සි වෙන්න

Published

on

පෞද්ගලික ආයතනයක් මුදල් වැයකර ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුවේ කාර්යාලයට සුපිරි මෙට්ටයක් සහ ඇඳක් ඇතුළු භාණ්ඩ කිහිපයක් පසුගිය ජූලි මාසයේදී ගෙනැවිත් ඇති හෙයින් මේ සුපිරි ඇඳ සහ මෙට්ටය ගෙනාවේ කාට යහන්ගතවීමට දැයි සමගි ජන බලවේගයේ පක්ෂයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී අද (09) ප්‍රශ්න කළේය.

පෞද්ගලික ආයතනයක් පාර්ලිමේන්තුව ඇතුළට මෙලෙස භාණ්ඩ ගෙන ඒම ජනාධිපතිවරයාගේ මෙන්ම පාර්ලිමේන්තුවේ ආරක්ෂාවටද විශාල තර්ජනයක් බව පැවසූ මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

පතිරණ මහතා මෙසේ පැවසුවේ මුලසුනේ අවසර ඇතිව ප්‍රකාශයක් කරමිනි.

  • බුද්ධික පතිරණ මහතා

මේ පාර්ලිමේන්තුවට ජූලි මාසේ 28 දහවල් 11.00 ට භාණ්ඩ වගයක් ඇවිල්ල තියෙනවා. හැබැයි පාර්ලිමේන්තුවෙන් මිලදී ගැනීමක් කරල නැහැ. මම ඒ රිසිට් සියල්ල සභාගත කරනවා. මේක ගෙනල්ලා තියෙන්නේ පෞද්ගලික ආයතනයක්. ඒ ආයතනය මුදල් ගෙවලා තියෙන්නේ. ඒ භාණ්ඩ ඇවිල්ල තියෙන්නෙ ජනාධිපතිතුමාගේ කාර්යාලයට. එතකොට ඒ ඔක්කොටම අස්සන් කරලා තියෙන්නේ ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු ලේකම්තුමා. මම ඒ ලියකිවිලි සභාගත කරනවා.

ඒ භාණ්ඩ අතර සුපිරි මෙට්ටයක් තියෙනව. ඝනකම අඩියකට වැඩියි. මෙහෙම මෙට්ටයක් මේ කාමරයට ගෙනාවෙ මොකටද. මම දන්න තරමට ජනාධිපතිතුමාගේ කාමරේ කවුරුත් බුදි යන්නේ නැහැ. එකේ කවුරුහරි යහන්ගත වෙනවද කියන එක බරපතළ ප්‍රශ්නයක්. නැත්නම් ජනාධිපතිතුමා යහන්ගත වෙන්න ඕන. එහෙම නැත්නම් කාර්ය මණ්ඩලය. මේ ගැන පරීක්ෂණයක් කරන්න. අගමැතිතුමනි ඕනිනම් අපිත් එන්නම් බලන්න. ඒක ජනාධිපතිතුමාගේ ආරක්ෂාවටත් හොඳයි. සභාවේ ආරක්ෂාවටත් හොඳයි. මේ විදියට මේ වගේ බඩු ගේන්න පුලුවන්ද. රුපියල් තුන්ලක්ෂ හතළිස්දෙ දහසක ඩබල් බෙඩ් එකක් ගෙනල්ලා තියෙනවා. සින්ගල් බෙඩ් එකක් නම් තව හිතන්න තිබුණා. ඊට අමතරව දෙලක්ෂ හැත්තෑ තුන් දහසක පුටුවකුයි එක්ලක්ෂ දහනව දහසක මෙට්ටෙකුයි ගෙනල්ලා තියෙනවා.

(ආණ්ඩු පක්ෂයෙන් බාධා)

  • පතිරණ මහතා:

ඔව් ඔව්, කාගෙත් කීර්තිනාමය හානි වෙන්නේ මේවා ගෙනාපුවාමයි. ඩබල් බෙඩ් ගෙනල්ලා කාර්යාල කාමරයක තියපුවාම. කරුණාකර ඒ ගැන පරීක්ෂණයක් කරන්න. මහලේකම්තුමා දැනුවත්වද මේ භාණ්ඩ ආවේ. ආරක්ෂක අංශ දැනුවත්වද ආවේ. පෞද්ගලික ආයතනයක් මුදල් ගෙවපු භාණ්ඩ මේක ඇතුළෙ තියෙන්න පුලුවන්ද. ඒ වගේම ජනාධිපතිතුමාගේ දිවුරුම් දීමට අදාළ උත්සවයේ සියලුම බ්ල්පත් ජනාධිපතිතුමාගේ පෞද්ගලික සල්ලිවලින් නිරවුල් කළා කිව්වට ඒ සල්ලි ගෙවලා තියෙන්නෙත් මේ පෞද්ගලික ආයතනය. ඒ ලියකිවිලිත් මම මෙතන සභාගත කරනවා. මේකේ භයානකකම මේකයි. මේ වගේ එක මිනිහෙක් ඔහොම කරලා ගියා. ජනාධිපතිතුමා එදා අර්ජුන මහේන්ද්‍රන් යන්නේ මඟුල් ගෙදරකට කියලා කිව්වා . ගියා ගියාමයි ආවේ නැහැ. දැන් මේ දෙවෙනි මිනිහා වෙන්න පුළුවන්. එදා අගමැතිතුමා බ්ලැක්මේල් කරලා අර්ජුන මහේන්ද්‍රන් රට පැන්නා. දැන් දෙවැනි මිනිහා ජනාධිපතිතුමාට ඇඳන්දීලා මෙට්ට දීලා රට පැන්නොත් මොකද කරන්නේ.

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා:

ඔය විස්තර සභාගත කරන්න

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා

දැන් මේ කාරණය ඔබතුමාලා පුන පුනා කියනවා. කතානායකතුමා තීන්දුවක් ගත්තා. බලලා කියන්නම් කියලා කිව්වනේ. ඔබතුමා ඔය ඇඳේ නිදි යන්නේ නැහැනේ. මම දන්නේ නැහැ ඔබතුමා යනවද කියලා. ඕකට ඔච්චර උනන්දු නිසා කියන්නේ. වැදගත් දේවල් මෙතන කතා කරන්න තියෙද්දි ඇඳක් ඇද ගන්නවා. ඇඳවල් ගැන කතා කරන්නෙ නැතුව රටේ ප්‍රශ්න ගැන කතා කරන්න.

ඇඳ ගෙනාවේ ජනපතිට හාන්සි වෙන්න – දොළවත්ත

පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයේ තිබූ ගෘහ භාණ්ඩ දිරාපත් වී තිබූ හෙයින් වත්මන් ජනාධිපතිවරයා පෞද්ගලික මුදලින් එම ගෘහ භාණ්ඩ ලබාගෙන පාර්ලිමේන්තුවට එය පරිත්‍යාග කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කීය.

ජනාධිපතිට අගමැතිට මෙන්ම විපක්ෂ නායකවරයාට පාර්ලිමේන්තුවේ විවේක ගැනීමට ඔවුන්ගේ කාර්යාලය කාමර වල ඇඳක් හාන්සි පුටුවක් ආදිය තිබෙන බව කී දොලවත්ත මහතා ජනාධිපති කාර්යාලයේ තිබූ ගෘහ භාණ්ඩ කාලයක් තිස්සේ පාවිච්චි කිරීම නිසා දිරාපත් වී ඇතැයි දැනගන්නට ලැබී රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලික මුදලින් ඒවා ලබා ගන්නට කටයුතු කර තිබෙන බවද සඳහන් කළේය.

Continue Reading

පුවත්

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩා වැටෙයි

Published

on

By

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටීමෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

පොලීසිය සඳහන් කළේ වාහන කිහිපයකට හානි සිදුව ඇති බවය.

මේ වනවිටත් ගස ඉවත්කිරීමේ කටයුතු සිදුකරන අතර ඇතිවී ඇති මාර්ග තදබදය හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Published

on

By

තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය හා සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා ‘e’ සේවාවක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව පැවසුවේ මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් මෙන්ම ඔවුන්ගේ කණ්ඩායම් සහ පක්ෂ මෙන්ම සලකුණ හඳුනා ගැනීම සඳහා ද මෙමගින් පහසුකම් සලසා ඇති බවය.

eservices.elections.gov.lk යන යොමුව මඟින් මැතිවරණ ‘e’ සේවාව වෙත පිවිස එහි රාජ්‍ය නිලධාරීන් සඳහා වන තැපැල් ඡන්ද තොරතුරු සඳහා වන යොමුව වෙත පිවිස තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

Continue Reading

පුවත්

අද ගිගුරුම් සහිත වැසි

Published

on

By

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (23) ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved