Connect with us

පුවත්

පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය මහ ලේකම් වැඩ අරඹයි

Published

on

පාර්ලිමේන්තුවේ නව කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් ධුරයට පත්වූ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න මහතා සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීම පසුගියදා සිදුවිය.

පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේ සිය නිල ප්‍රතිඥාව ලබා දීමෙන් අනතුරුව කුලරත්න මහතා සිය ධුරයේ කටයුතු ආරම්භ කළේය.

අද (19) පෙරවරු 9.30ට පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ කරමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, 2023 සැප්තැම්බර් 15දා සිට පාර්ලිමේන්තුවේ නව කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් ධුරයට ජ්‍යෙෂ්ඨ නීතීඥ ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න මහතා පත් කර ඇති බව නිල වශයෙන් පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

චමින්ද කුලරත්න මහතා රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙකු වේ.

තවද කොළඹ විශ්ව විද්‍යාලයේ හා එක්සත් රාජධානියේ බකින්හැම්ෂයර් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියෙකු ද වන ඒ මහතා 2005 වසරේ සිට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ යාවජීව සාමාජිකයෙකු මෙන්ම 2016 වසරේ සිට නීතීඥ සංගමයේ කවුන්සිලයේ (Bar Council) සාමාජිකයෙකු ද වේ.

ජ්‍යෙෂ්ඨ නීතීඥ චමින්ද කුලරත්න මහතා සිය 20 වසරක වෘත්තිය ගමන් මඟ තුළ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම්, ජනාධිපති අතිරේක ලේකම්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්, විපක්ෂ නායක අතිරේක ලේකම්, එක්සත් රාජධානියේ ලන්ඩන්හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, ජනාධිපති සහකාර ලේකම් ඇතුලු රජයේ විධායක මට්ටමේ පරිපාලන තනතුරු රැසක් හොබවා තිබේ.

එමෙන්ම ඒ මහතා ව්‍යවස්ථාපිත නීතිය, පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රියාදාමයන් පිළිබඳව ද, රාජ්‍ය පරිපාලනය හා මුදල් රෙගුලාසි පිළිබඳව ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකි.

කුලරත්න මහතා එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, චීනය, ඉන්දුනීසියාව, ජපානය ඇතුලු රටවල් රැසක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ හා පුහුණු පාඨමාලා රැසකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී ඇත.

ලංකා බැංකුව, මර්චන්ට් බැංකුව, MBSL ඉන්ෂුවරන්ස් ලිමිටඩ්, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය (GOH), සී/ස මගනැගුම ඉමල්ෂන් පුද්ගලික සමාගම, Colombo Financial City Foundering Ltd. ඇතුලු රාජ්‍ය ආයතන රැසක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද ඒ මහතා කටයුතු කර තිබේ.

තවද, කුලරත්න මහතා එක්සත් රාජධානියේ ලන්ඩන්හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශකවරයෙකු වශයෙන් සේවය කරන ලද කාලවකවානුවේදී තානාපති නිලධාරීන්ගේ පැරණිතම සංගමය වන කන්සියුලර් නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව නියෝජනයකළ පළමු දකුණු ආසියානු රාජතාන්ත්‍රිකයා ද වේ.

නීතීඥ යෝග්‍යා කුලරත්න මහත්මිය සමග විවාහ වී සිටින චමින්ද කුලරත්න මහතා පුතුන් දෙදෙනෙකුගේ සහ දියණියකගේ ආදරණීය පියෙකි.

පුවත්

පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 26 වැනිදා

Published

on

By

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් මස 26 වන සෙනසුරාදා සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනයට පොලීසියෙන් විශේෂ කමිටුවක්

Published

on

By

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මේ වනවිට පොලීසියට ලැබී තිබේ.

ඒ අනුව අදාළ විමර්ශන වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ සභාපතිවරයාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවක් පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ඉදිරි විමර්ශන පිළිබඳ මාධ්‍ය දැනුවත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය.

එම කමිටුවේ අනෙකුත් සමාජිකයින් මෙසේය,

නියෝජ්‍ය පොලිස්පති – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
අධ්‍යක්ෂ – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
අධ්‍යක්ෂ – ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය

මේ අතර මෙම කමිටුව මඟින් තවත් අනුකමිටු ගණනාවක් පිහිටුවා ඔවුන් විසින් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කරමින් පවතින අතර, ඒ අනුව මතුවන නව කරුණු සම්බන්ධයෙන් අලුතින් විමර්ශන ආරම්භ කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කෙසේවෙතත් මෙම පරීක්ෂණ කොමිසම් වාර්තාව පිටු 66,000 – 67,000ක් අතර වන බැවින් දැනට පිහිටුවා ඇති කමිටු මඟින් මෙම වාර්තාව අධ්‍යයනය කරමින් පවතින අතර, ඉක්මනින් මීට අදාළ විමර්ශන ආරම්භ කර ඉදිරි නෛතික කටයුතු අදාළ පුද්ගලයින්ට එරෙහිව සිදුකරනු ලබන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Continue Reading

පුවත්

පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ශෝකය

Published

on

By

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ  (උපත් නාමය ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ) ස්වර්ගස්ථ වීම පිළිබඳ  ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ  සභාපති,ජපානයේ  ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ බලවත් ශෝකය ප්‍රකාශ කරති.

අවස්ථා කීපයකදීම මට හමුවූ ශුද්ධෝතම ප්‍රැන්සිස් පාප් වහන්සේ  අතිශය නිහතමානී කමින් යුක්ත, ආගමික සහජීවනය පිළිබඳ ඉතාමත් ගැඹුරු දර්ශනයකින් යුත් දිළිඳු ජනයා කෙරෙහි මහා ආදරයකින් යුක්ත යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෞරවනීය ශ්‍රාවකයෙකි.

2015 දී ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ අවස්ථාවේ දී මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහාබෝධි විහාරයට සැපත්වීම උන් වහන්සේගේ ආගමික සහජීවනයේ කැපී පෙනුණු සිදුවීමක් විය.උන් වහන්සේ ඒ අවස්ථාවේ දී මා හට ප්‍රකාශ කළේ බෞද්ධ විහාරයකට සැපත් වූ ප්‍රථම පාප් වහන්සේ තමන් බවය.

උන් වහන්සේ 1936 දෙසැම්බර් 17 දින උපත ලැබීය. ජේසුස් වහන්සේගේ සමාජයෙන් (ජේසුයිට් නිකායෙන්)  පාප් වහන්සේ ලෙස පත් වූ පළමු පාප් වහන්සේ ලෙසත් ඇමරිකාවෙන් බිහි වූ  සහ 8 වන සියවසේ සිරියාවෙන් පත් වූ තුන්වන ග්‍රෙගරි පාප් වහන්සේ ගෙන් පසු යුරෝපයෙන් පිටත උපත ලැබූ හෝ හැදී වැඩී උත්තරීතර පාප් වහන්සේ තනතුරට පත් වූ පළමු පාප් වහන්සේ ලෙස ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ රෝමානු කතෝලික පල්ලියේ ඉතිහාසගත වූ චරිතය වේ.

සැබෑ කිතු දහම හා සාමය ලොව පුරා ප්‍රචලිත කිරීමට සිය ජීවිත කාලයම කැප කළ උන් වහන්සේට ස්වර්ග මෝක්ෂ සුවය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු යැයි බානගල උපතිස්ස නා හිමියෝ සිය ශෝක පණිවිඩයෙන් ප්‍රාර්ථනා කරති.

ඡායාරූපය – News1st 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved