Connect with us

පුවත්

පාර්ලිමේන්තු අනුමැතියක් නැතිව ඩොලර් බිලියන 12.5ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමට යයි!

Published

on

වර්තමාන ආර්ථික තත්ත්වය සහ මහබැංකුවේ කාර්ය භාරය සම්බන්ධයෙන් සියලු මන්ත්‍රිවරුන් දැනුම්වත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ඊයේ (03) කැඳවා තිබූ සාකච්ඡාවට පැමිණ සිට ඇත්තේ ආණ්ඩු පක්ෂය හා විපක්ෂය නියෝජනය කරමින් රාජ්‍ය ඇමැතිවරු දෙදෙනෙක් සහ මන්ත්‍රිවරු සිවුදෙනෙක් පමණක් බව වාර්තා වේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙන්ම පාලක මණ්ඩලයේ සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයෝ ද එක්ව සිට ඇත.

මෙම සාකච්ඡාව කැඳවා තිබුණේ මහ බැංකුවේ කර්තව්‍ය සම්බන්ධයෙන් සෑම මාස හතරකටම වරක් පාර්ලිමේන්තුව විසින් හෝ එහි යම් කමිටුවක් විසින් විමසනු ලැබිය යුතු බවට වන පාර්ලිමේන්තුව සම්මත කර තිබෙන නව නීතිය අනුවය. 

මේ සම්බන්ධයෙන් පසුගිය සතිය පුරාම සියලු මන්ත්‍රිවරු දැනුවත් කිරීමට ද පාර්ලිමේන්තුව පියවර ගෙන තිබිණි.

එහෙත් ඊයේ පැවැති සාකච්ඡාවට සහභාගි වී ඇත්තේ ආචාර්ය සුරේන් රාඝවන් සහ අශෝක ප්‍රියන්ත යන රාජ්‍ය ඇමැතිවරු සහ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි ප්‍රේමනාත් සී. දොළවත්ත, අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රි වීරසේන ගමගේ, කළුතර දිස්ත්‍රික් මන්ත්‍රි අනුප පැස්කුවල්, පත් කළ මන්ත්‍රි ඒ.එච්.එම්. ෆවුසි හා විපක්ෂය නියෝජනය කරමින් මාතර දිස්ත්‍රික් මන්ත්‍රි වීරසුමන වීරසිංහ යන මහත්වරුන් පමණි.

විදේශීය පෞද්ගලික ණය හිමියන් සමග පවතින ඇමරිකානු ඩොලර් බිලියන 12.5ක් වන ණය ප්‍රතිව්‍යුහගත කිරීම පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව සිදුකිරීමට සුදානමක් පවතින බව මෙහිදී අනාවරණය වී තිබේ. 

එම ණය වෙනුවෙන් සියයට විසි හතරක් තරම් විශාල පොලියක් ගෙවීමට සිදු වන බව මෙම අවස්ථාවේ දී අදහස් දක්වා ඇති මන්ත්‍රි වීරසුමන වීරසිංහ මහතා සඳහන් කර ඇත. 

ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා නොගැනීම බරපතළ තත්ත්වයක් බව ද විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත් ආකාරයට මෙම පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවත් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත යුතු බව මන්ත්‍රිවරයා අවධාරණය කර තිබේ. 

එම යෝජනාව රාජ්‍ය ඇමැති ආචාර්ය සුරේන් රාඝවන් ද අනුමත කර ඇත.

ඒ සම්බන්ධයෙන් තීරණ ගන්නේ මහබැංකුව නොව මුදල් අමාත්‍යාංශය යැයි ඊට ප්‍රතිචාර වශයෙන් මහැබංකු අධිපතිවරයා පවසා තිබේ.

ඇතැම් දේශපාලන පක්ෂ පවසන ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන එකඟතාවන් වෙනස් කිරීමට හැකියාවක් පවතින්නේ ද යන්න හා එසේ කළහොත් ඇතිවිය හැකි බලපෑම සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැති ආචාර්ය සුරේන් රාඝවන් කළ ප්‍රශ්න කිරීමේ දී මහබැංකු අධිපතිවරයා නිසි පිළිතුරක් දී නොමැත. 

තමන් ඊට පිළිතුරු දුනහොත් එය දේශපාලනික කාරණාවක් වන බව ඒ මහතා සඳහන් කර තිබේ.

මූලාශ්‍රය – අරුණ

පුවත්

දේශබන්දු පරීක්ෂණ කමිටුවේ දෙපාර්ශවයේම සාක්ෂි මෙහෙයවීම අවසන්

Published

on

By

පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව ඉදිරියේ වගඋත්තරකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පාර්ශ්වයේ සහ පැමිණිලි පාර්ශ්වයේ යන දෙපාර්ශ්වයේම සාක්ෂි මෙහෙයවීම ඊයේ (01) අවසන් විය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් පරීක්ෂණ කමිටුව අද රැස් වූ අතර මෙහිදී පැමිණිල්ලේ තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකුගෙන් සාක්ෂි ලබා ගැනීම සිදු විය.

මෙම සාක්ෂිකරුවන් දෙදෙනා රාජකාරී කටයුත්තකට විදේශගතව සිටි අතර ඔවුන්ගේ සාක්ෂි ලබාදීම ජුනි 26න් පසුව සිදු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස්, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරුන් සහ වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ නීතීඥ ආර්.එස්. වීරවික්‍රම මහතා පෙර එකඟ වූ පරිදි, අද දින මෙම සාක්ෂිකරුවන් දෙදෙනාගේ ද සාක්ෂි ලබාගැනීමට තීරණය කෙරිණි.

ඒසේම දෙපාර්ශ්වයේම ලිඛිත දේශන 2025 ජූලි 8 වැනිදා ප.ව. 3.30ට පෙර පරීක්ෂණ කමිටුව වෙත භාරදීමට නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් සහ වගඋත්තරකාර පොලිස්පතිවරයා යන දෙපාර්ශ්වයම එකඟ වූහ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

මන්ත්‍රී අර්ච්චුනාට එරෙහි පෙත්සම විභාගයට අවසර

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (02) අවසර දුන්නේය.

එහෙත් පෙත්සමෙන් ඉල්ලා තිබූ පරිදි අර්ච්චුනා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම හා ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් මෙම අවස්ථාවේදී නිකුත් නොකරන බව විනිසුන් මඩුල්ල ප්‍රකාශ කර ඇත.

මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කරන ලදී.

අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඕෂල හේරත් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ආශෝක් බරන් මහතා අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ, වගඋත්තරකාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාවේදී රජයේ වෛද්‍යවරයෙකු වශයෙන් සේවයකර වැඩ තහනමට ලක්ව සිටි බැවින් ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පාර්ලිමේන්තුවට තේරි පත්වීමට සුදුසුකම් නොමැති බවය.

ඒ අනුව ඔහුට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම ඡන්දය ප්‍රකාශ කිරීමට නීතිමය හිමිකමක් නොමැති බවට නීතිඥවරයා තර්ක කර තිබුණි.

එහෙත් රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සේනානි දයාරත්න මහතා සඳහන් කර තිබුණේ, සිය සේවා දායකයාව පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාවේදී ඔහු වැටුප් රහිතව වැඩසටහනට ලක්ව සිටි එබැවින් එම අවස්ථාවේ ඔහු රජයේ සේවකයෙකු වශයෙන් සැලකිය නොහැකි බවය.

ඒ අනුව ඔහුට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නීතිමය බාධාවක් නොමැති බවට නීතිඥවරයා තර්ක කළේය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, මෙම විභාගයට ගැනීමට අවසර දුන්නේය.

ඉන් අනතුරුව පෙත්සම අගෝස්තු මස 1 වනදා කැඳවීමටද නියම විය.

Continue Reading

කැබිනට් තීරණ

ශ්‍රීලංකන් ගැන සොයන්න ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක්

Published

on

By

ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති වංචා, දූෂණ හා අක්‍රමිකතා සෙවීම සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවත් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ එලෙස අනුමැතිය හිමි වී ඇත.

සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම මඟින් රටේ ආර්ථික අභිවෘද්ධිය සඳහා දායකත්වයක් සැපයුව ද එය පවත්වාගෙන යාම සඳහා රජයට අධික වැය බරක් දැරීමට සිදුව ඇති අතර, එම සමාගම වාර්ෂිකව ලබන අධික පාඩුව රටේ ආර්ථිකයට දරා ගැනීමට අපහසු වී ඇත.

මෙම සමාගම ආර්ථිකමය වශයෙන් වාසිදායක, කාර්යක්ෂම හා ඵලදායී රාජ්‍ය ආයතනයක් බවට පත් කර, නවීන තාක්ෂණය භාවිත කරමින් සාර්ථක ලෙස පවත්වාගෙන යාම මහජන අභිලාෂය වී තිබේ.

ඒ සඳහා, සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම වර්තමාන තත්ත්වයට පත් වීමට බලපෑ හේතු සම්බන්ධයෙන් පසුගිය කාලපරිච්ඡේදය තුළ සිදු වී ඇති ගනුදෙනු හා සිද්ධීන් පිළිබඳ විධිමත් අධ්‍යයනයක් හා ඇගයීමක් සිදුකළ යුතුය.

එසේම, ගුවන්තොටුපොළ මෙහෙයුම් සම්බන්ධයෙන් වගකීම් පැවරී ඇති සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේ කටයුතු පිළිබඳව ද විමර්ශනය කිරීමේ අවශ්‍යතාව විවිධ පාර්ශ්වයන් ඔස්සේ රජයේ අවධානයට යොමු කර ඇත.

ඒ අනුව, 2010‑2025 කාලසීමාව තුළ ඉහත සඳහන් ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන වංචා, දූෂණ සහ අක්‍රමිකතා සොයා බලා නිර්දේශ සහිත සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා හිටපු විගණකාධිපති එච්.එම්.ගාමිණී විජේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved