Connect with us

පුවත්

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් වැඩසටහන අඛණ්ඩව

Published

on

ලෝක ආහාර වැඩසටහනෙහි ආධාර මත ක්‍රියාත්මක මෙරට පාසල් සිසුන්ගේ රක්තහීනතාව අඩු කිරීම ඉලක්ක කරගත් පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන, මේ වන විටත් ක්‍රියාත්මක ආකාරයෙන්ම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් රජය විසින් ගෙන ඇතැයි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති ලේකම්වරයා මෙම අදහස් පළ කළේ, මෙම වැඩසටහනට සම්බන්ධ සියලුම අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන සහ ලෝක ආහාර වැඩසටහන, බිල් සහ මිලින්ඩා ගේට් පදනම හා පාත් පයින්ඩර් ආයතන නියෝජිතයන් ඇතුළු සියලුම පාර්ශවකරුවන් සමඟ ඊයේ (23) දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේ දී ය.

හඳුනාගත් අඩු පෝෂණ මට්ටමේ දරුවන් සිටින දිස්ත්‍රික්කවල ප්‍රාථමික අංශයේ දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන පාසල් දිවා ආහාරය ලබා දීමේ රජයේ වැඩසටහනට සමගාමීව, පාසල් දරුවන් අතර යකඩ ඌණතාවය අවම කිරීම ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, පළාත් සභා, ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, ලෝක ආහාර වැඩසටහන සඳහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලය ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. පාසල් දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන සඳහා රජය විසින් මේ වසරේ වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් බිලියන 32 කි.

තෝරාගත් දිස්ත්‍රික්ක 04ක නියමු වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර එහි ප්‍රතිඵල සම්බන්ධයෙන් සෞඛ්‍ය හා පෝෂණ අංශ විසින් කෙරෙන විධිමත් අධ්‍යයනයකින් පසු දීප ව්‍යාප්තව මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුළින් පාසල් දරුවන්ගේ යකඩ ඌණතා ගැටලුව අවම වී ඇද්ද යන්න සොයා බැලීම අධ්‍යයනයේ අරමුණයි.  

විශේෂයෙන් පාසල් දරුවන්ගේ රක්තහීනතාව තුරන් කිරීම සඳහා යකඩ සහ ෆෝලික් අම්ලය එකතු කර සකස් කරන සබලකෘත සහල් ( Fortified Rice ) පාසල් දරුවන්ගේ දිවා ආහාරයට එකතු කිරීම මේ යටතේ සිදු කෙරේ.

මේ වැඩසටහන සඳහා ලෝක ආහාර වැඩසටහන, බිල් සහ මිලින්ඩා පදනම, ගේට්වේ පදනම හා ෆාත්ෆයින්ඩර්  පදනම තවදුරටත් සහය ලබා දීමට ද එකඟ විය.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරු සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් මලර්මදී ගංගාධරන් මහත්මිය ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරීන් හා නියෝජිතායතනවල නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

තද වැසි පිළිබඳ අවවාද

Published

on

By

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අද (11) පෙ.ව 5:30ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (12) පෙ.ව 05.30 වන තෙක් වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේනදය කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු පළාතේත් අනුරාධපුරය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 50-60ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ දැක්වෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

හිටපු බන්ධනාගාර කොමසාරිස් රෝහලට, කොමසාරිස් මෙහෙයුම් ගාමිණී CIDයට

Published

on

By

රක්ෂිත බන්ධනාගාරගත කළ, වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

ඔහුට බන්ධනාගාරය තුළදී විශේෂ ආරක්ෂාවක් සපයන ලෙස අධිකරණය විසින් ද නියෝග කර තිබුණි.

ඒ අනුව තුෂාර උපුල්දෙණිය මහතා ඊයේ පස්වරුවේ පළමුව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබිණි.

ඔහු විශේෂ ආරක්ෂිත ස්ථානයක රඳවා තබන තෙක් එම බන්ධනාගාරයේ පස්වරු 05.00 පමණ තෙක් රඳවා සිටි බව පැවසේ.

පසුව ඔහු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාර රෝහලේ විශේෂ ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගොස් එහි රඳවා ඇතැයි වාර්තා වේ.

මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු වැඩ තහනමට ලක්ව සිටින තුෂාර උපුල්දෙණිය මහතා අද (11) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

රක්ෂිත බන්ධනාගාර ගත කළ අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා ද අද දින අනුරාධපුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතව තිබේ.

ඔහු මේ වනවිට රඳවා සිටින්නේ දුම්බර බන්ධනාගාරයේ ආරක්ෂිත ස්ථානයක බව පැවසේ.

මේ අතර බන්ධනාගාර කොමසාරිස් මෙහෙයුම් ගාමිණී දිසානායක මහතාට අද දිනයේ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ, ජනාධිපති පොදු සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවෙකු නිදහස් කිරීමේ සිද්ධියට අදාළව සිදු කෙරෙන විමර්ශන වෙනුවෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

පසුගිය 09 වැනිදා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඔහු කැඳවා පැය 06ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගත්තා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ද අත්අඩංගුවට ගැනුනේ අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුවට තුන්වරක් කැඳවීමෙන් පසුවය.

Continue Reading

පුවත්

කසිප්පුවෙක්ට නඩු දැම්මයි මාලිමා මන්ත්‍රී වටගලගේ ඥාති සැරයන්ට කුණුහරුපෙන් බැණලා

Published

on

By

කසිප්පු ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගෙන නඩු පැවරුවැයි උරණ වූ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු විසින් සැරයන්වරයෙකුට පරුෂ වචනයෙන් බැණ වැදී ඔහු වවුනියාවට ස්ථාන මාරු කර යවන බවට තර්ජනය කිරීමේ සිද්ධියක් ගැන වැලිපැන්න පොලිසියෙන් වාර්තා වේ.

ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු විසින් අදාළ බැණ වැදීම සිදු කර ඇතැයි පැවසේ.

කෙසේවුවද, තමාට සිදුකළ තර්ජනය හා බැණ වැදීම සම්බන්ධයෙන් අදාළ සැරයන්වරයා විසින් සටහනක් ද යොදා වැලිපැන්න පොලිස් ස්ථානාධිපතිවරයාටද පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.

ඉකුත් 4 වැනිදා එකී මන්ත්‍රිවරයා වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ රාජකාරී ජංගම දුරකථන අංකයට ඇමතුමක් ගෙන ‘‘කවුද ඔය පොලිසියේ අජිත් කියන්නේ, ඔහුගේ පදිංචිය ආදී තොරතුරු විමසා, මිනිස්සුන්ට බොරුවට කසිප්පු නඩු දාලා කනටත් ගහලා මේ සිද්ධිය ඕඅයිසී මහත්තයා ඔයා දන්නේ නැද්ද?’’ යනුවෙන් විමසා ඇත.

එහිදී ස්ථානාධිපතිවරයා, අජිත් නැමැති නිලධාරියා මීගහතැන්න ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත් ඔහු මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල මහතාගේ ඥාති සහෝදරයකු බවත් මන්ත්‍රීවරයාට පවසා තිබේ.

මන්ත්‍රිවරයා වටගලගේ ද යනුවෙන් විමසා දුරකතනය විසන්ධි කර මද වේලාවකින් නැවත දුරකතනයට ඇමතුමක් ගෙන අජිත් නැමැති පොලිස් සැරයන්වරයාගේ ජංගම දුරකතන අංකය ඉල්ලූ බවත් තමන් එම අංකය කෙටි පණිවුඩයකින් යැවූ බවත් ස්ථානාධිපතිවරයා පොලිස් පොතේ සටහනක් යොදා ඇතැයිද පැවසේ.

බැණ්නට පස්සේ සාජන් වැඩටත් ඇවිත් නැහැ…

එදින සවස 06 ට පමණ පොලිස් සැරයන් අජිත් තමා හමුවට පැමිණ මන්ත්‍රිවරයා තම ජංගම දුරකතනයට ඇමතුමක් ගෙන තමාට පරුෂ වචනින් බැණ වැදුණු බවත් කසිප්පු ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ඊට හේතු වී ඇති බවත් තමාව වවුනියාවට මාරු කර යවන බවටද මන්ත්‍රිවරයා තර්ජනය කළ බවත් පොලිස් සැරයන් පැවැසු බවද පොලිස් පොතේ සටහන් කර ඇතැයි වාර්තා වේ.

ඒ බව පොලිස් සැරයන්වරයා ද මන්ත්‍රිවරයා බැණ වැදුණු දුරකථනයේ අංකයද යොදා සී පී අයි බි (2) 353/40 ලෙස සටහනක් යොදමින් සාධාරණයක් සිදු කරන ලෙසද ඉල්ලා තිබේ.

එදින සිට මේ දක්වා සැරයන්වරයා රාජකාරියට වාර්තා කර නැතැයි ද වැලිපැන්න පොලිසියේ ආරංචි මාර්ග කියා සිටියි.

මෙකී සිද්ධියට අදාළව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකර මහතා මාධ්‍යට පවසා තිබේ.

මූලාශ්‍රය – අරුණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved