Connect with us

පුවත්

පාසල් සිසුන්ට පෝෂ්‍යදායී ආහාර වේලක්

Published

on

 පාසල් සිසුන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීම වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මඟින් ලැබුණු ආහාර ද්‍රව්‍ය බෙදා දීම ඇරඹේ 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත  ආරම්භ කළ පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින්  ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ ආහාර  ගබඩා පරිශ්‍රයේදී අද (19) ආරම්භ කෙරිණි.

පාසල් දරුවන් අතර යකඩ ඌණතාවය අවම කිරීම ඉලක්ක කර ගනිමින් සබලකරණය කරන ලද සහල් (Fortified  Rice)  පාසල් ආහාර වේල සඳහා ලබාදීම සිදු කරනු ලබන අතර ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ඇති ලෝක ආහාර වැඩසටහන සඳහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලයේ  අධ්‍යක්ෂ ජනරාල් එම්.එච්.ඒ.එම්.රිෆ්ලාන් මහතාගේ අධීක්ෂණයෙන් මෙම බෙදාහැරීමේ කටයුතු සිදු කෙරේ.

ඒ අනුව පළමු අදියර යටතේ පළාත් මට්ටමින් සහල් මෙට්‍රික් ටොන් 735ක් නිකුත් කිරීම අද ආරම්භ වූ අතර එය හෙට (20) දිනයේද ක්‍රියාත්මකය. අදාළ ප්‍රදේශයේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ  නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරීන්ගේ නිරීක්ෂණය යටතේ මෙම සහල් තොගය පාසල් වෙත භාරදීම සිදු කරයි.

මේ අතර ලබන මැයි 19 වන දින නව පාසල් වාරය ආරම්භ කිරීමෙන් පසුව පරිප්පු මෙට්‍රික් ටොන් 378.835ක්, සන්ෆලවර් පිසින තෙල් මෙට්‍රික් ටොන් 412.08ක්, රට ඉඳි මෙට්‍රික් ටොන්300ක් ද පාසල් වෙත බෙදා දීමට නියමිත බව ලෝක ආහාර වැඩසටහන සඳහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලයේ  අධ්‍යක්ෂ ජනරාල් එම්.එච්.ඒ.එම්.රිෆ්ලාන් මහතා පැවසීය. 

දිවයිනේ 1- 5 දක්වා ශ්‍රේණිවල සියලු‍ම පාසල් සිසුන්ට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබා දීමට මේ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. පෝෂණවේදීන්ගේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට පෙර දිනපතා පෙරවරු 7.30ත් 8.30 අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබා දෙයි.

“නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක්” යන තේමාව යටතේ මෙවර 2024 වර්ෂය සඳහා ක්‍රියාත්මක පාසල් ආහාර වැඩසටහන මගින් පාසල් සිසුන් අතර පෝෂණ ගැටලු‍ අවම කිරීම, සිසුන්ගේ දෛනික පාසල් පැමිණීම වර්ධනය කිරීම, යහපත් ආහාර පුරුදු හා සෞඛ්‍ය පුරුදු වර්ධනය කිරීම, අධ්‍යාපන සාධන මට්ටම් වර්ධනය සඳහා දායක වීම සහ දේශීය ආහාර සංස්කෘතිය ගොඩනැගීම යන මූලික අරමුණු ඉටු කරගැනීමට අපේක්ෂිත ය.

රජයේ පාසල් 9134ක ප්‍රාථමික ශ්‍රේණිවල සියලු‍ සිසුන් හා 100ට අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින සියලු‍ම පාසල් ද ආවරණය වන පරිදි සිසුන් මිලියන 1.6ක් මෙවර පාසල් ආහාර වැඩසටහනේ ප්‍රතිලාභීහු වෙති. මේ සඳහා රජය රුපියල් මිලියන 16,600ක අයවැය ප්‍රතිපාදන සෘජුවම පළාත් සභා නවය වෙත වෙන් කර ඇති අතර ලෝක ආහාර වැඩසටහන හා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDIA) ඇතුළු තවත් සංවිධාන කිහිපයක් විසින් ද අනුග්‍රාහකත්වය සපයනු ලබයි.

ජනාධිපති මාධ්‍ය අංශය
2024-04-19

පුවත්

රනිල්, රොනල්ඩ් ආවම අල්ලස් කොමිසමට එන්නම් කියයි!

Published

on

By

ලබන 25 වැනිදා පෙරවරු 9.30 ට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණීමට හැකියාවක් නොමැති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම කොමිසමට ලිඛිතව දැනුම් දී ඇතැයි වාර්තා වේ.

සිය නීතිඥවරයා වන ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා විදෙස්ගතව සිටින බැවින් මෙම 27 වැනිදායින් පසුව කොමිසමට පැමිණීමට දිනයක් ලබාදෙන ලෙස හිටපු ජනාධිපතිවරයා ලිඛිතව දැනුම්දී ඇත.

මීට පෙරද ඔහු කොමිසම හමුවට කැඳවා තිබුණද, අලුත් අවුරුදු සමය හේතුවෙන් ඊට සහභාගිවීමට නොහැකි බව හිටපු ජනාධිපතිවරයා එහිදී ලිඛිතව දැනුම්දී තිබිණි.

නැවත වරක් කොමිසම ඊයේ (21) හිටපු ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම්දී ඇත්තේ කොමිසම හමුවට පැමිණෙන ලෙසය.

පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක සම්බන්ධ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු ජනාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත මූලස්ථානයේ ඊයේ (21) පැවැති රැස්වීමකදීද හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ සිය නීතිඥයා විදෙස්ගතව සිටින බැවින් ඔහු මෙරටට පැමිණි පසුව කොමිසම හමුවට යන බවය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

පොලීසියෙන් දැනුම්දීමක්

Published

on

By

සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන ව්‍යාජ ලිපියක් සම්බන්ධව පොලීසිය විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

ඒ අනුව, මෙලෙස අසත්‍ය කරුණු ප්‍රචාරය කිරීමට සම්බන්ධ තැනැත්තන්ට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ආරම්භ කර ඇත.

“පරිගණක අපරාධ මූලස්ථානය” ලෙස සඳහන් කර වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම සහ ව්‍යාජ ලෙස සකස් කරන ලද අත්සනක් ද සහිතව “විශ්වාස කිරීම (CONVICTION)” යන ශීර්ෂය යටතේ ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරන ලද ලිපියක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතින බව පොලීසිය පවසයි.

මෙහි සඳහන් කරුණු කිසිදු නෛතික පදනමක් නොමැති එකිනෙකට නොගැලපෙන වචන භාවිතා කර පසුබිමින් ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය, ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණ ලාංඡනය හා ශ්‍රී ලංකා පොලිස් නිල ලාංඡනයට සමාන ලෙස ලාංඡන මුද්‍රණය කර සකස් කර ඇති බවට ද නිරීක්ෂණය වී ඇති පොලීසිය නිවේදනය කරයි.

මෙම ලිපිය යොමු කරන ලද ආයතනය ලෙස සඳහන් “Cyber Crime Headquarters Colombo, Sri lanka” නමින් ආයතනයක් ශ්‍රී ලංකාව තුළ නොවන අතර මෙහි දක්වා ඇති තනතුරු හෝ කරුණු ශ්‍රී ලංකා පොලීසිය මඟින් ප්‍රකාශයට පත් නොකරන ලද, අසත්‍ය හා විකෘති කරන ලද කරුණු බවට ශ්‍රී ලංකා පොලීසිය මහජනතාව වෙත දන්වා සිටී.

මෙය හිතාමතාම ඉතා සැලසුම් සහගත ලෙස ශ්‍රී ලංකා පොලීසිය අපහසුතාවයට පත් කිරීම හා මහජනතාව නොමග යැවීම අරමුණු කරගෙන සකස් කරන ලද ලිපියක් බවට නිරීක්ෂණය වී ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading

පුවත්

ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි!

Published

on

By

නව විගණකාධිපතිවරයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තුවේදී අද (22) රැස්වීමට නියමිතය.

මෙම තනතුර සඳහා ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල මහතා ඇතුළු කිහිප දෙනකුගේ නම් ඉදිරිපත්ව ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිවරයා නව විගණකාධිපතිවරයා ලෙස පත් කරන්නැයි එහි අංශ ප්‍රධානීන්ගේ සංසදය සහ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

විගණකාධිපති තනතුර සඳහා මේ වන විට විවිධ පුද්ගලයන්ගේ නම් ඉදිරිපත් වී ඇති බව දැන ගැනීමට ලැබී ඇති නමුත් වංචාව හා දූෂණයෙන් තොර පිරිසුදු රාජ්‍ය පාලනයක් ඇති කිරීම සඳහා වූ රජයේ අපේක්ෂාව ඉටුකර ගැනීම සඳහා රාජ්‍ය විගණන ක්‍රියාවලියට පැවරී ඇති වගකීම ඉටු කිරීමට සුදුසුකම් සහිත නිලධාරියා වත්මන් වැඩ බලන විගණකාධිපතිවරයා යැයි තරයේ විශ්වාස කරන බවත් එම ඉල්ලීම්වල සඳහන් කර ඇත.

පුරප්පාඩු වී ඇති විගණකාධිපති තනතුර සඳහා ජාතික විගණන කාර්යාලයේ සේවයේ නියුතු සුදුසුකම් සහිත ජ්‍යෙෂ්ඨතම නිලධාරියාට ප්‍රමුඛතාව ලබා දීම මෙතෙක් පැවැති සම්ප්‍රදාය වූ බව සිහිපත් කරන එම වෘත්තීය සමිති ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිවරයා ව්‍යවස්ථානුකූල සියලු සුදුසුකම් මෙන්ම එම තනතුර දැරීම සඳහා අවශ්‍ය සියලු අත්දැකීම් හා පළපුරුද්ද හා පරිචයන් සම්පූර්ණ කර සිටින බවත් සඳහන් කරයි.

මෙම නිලධාරීන් පෙන්වා දෙන්නේ බාහිර තැනැත්තෙක් එම තනතුරට පත් කිරීමෙන් රජය කෙරෙහි පවතින ජනතා විශ්වාසය පළුදු විය හැකි බවය.

අංශ ප්‍රධානීන්ගේ සංසදයට අංශ ප්‍රධානීහු හැට පස් දෙනෙක් අයත් වන අතර ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ශ්‍රී ලංකා විගණන සේවා සංගමය, රාජ්‍ය සහකාර විගණන අධිකාරී සංගමය සහ රජයේ විගණන නිලධාරී සංගමය යන වෘත්තීය සංගම් අයත් වෙයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved