පාස්කු ප්‍රහාරය පිටුපස මහ මොළකරුවකු සිටින බවට ප්‍රකාශයන් කළ මනුෂ නානායක්කාර, හරින් ප්‍රනාන්දු සහ කාදිනල් හිමියන්ගෙන් වහාම ප්‍රශ්න කළ යුතු බව බොදුබල සේනා සංවිධානය පවසයි.
එම සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ (20) මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ වත්මන් ආණ්ඩුව බලයට පත් වී හය මාසයක් ගත වී ඇතත් මෙතෙක් පාස්කු ප්‍රහාරය පිළිබඳව යාවත්කාලීන කිරීමක් සිදු කර නොමැති බවය.
“පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කරලා මනුෂ නානායක්කාර, හරින් ප්‍රනාන්දු ප්‍රකාශයක් කළා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මහ මොළකරුවෙක් ඉන්නවා කියලා. එතැන් සිට තමයි මහ මොළකරු පිළිබඳ ප්‍රබන්ධය ඉදිරියට ආවේ. මනුෂ නානායක්කාර, හරින් ප්‍රනාන්දු සහ කාදිනල් හිමියන් දිගින් දිගටම මහ මොළකරුවෙක් ගැන හොයන්න ගත්තා. හැබැයි අද වෙනකන් ඔවුන් තිදෙනාගෙන් යම් සාක්ෂියක් හරි ප්‍රකාශයක් ලබාගෙන තියෙනවද? මහ මොළකරුවා කියන ප්‍රබන්ධ කතාවත් එක්ක අසාද් මවුලානා චැනල් ෆෝ නාලිකාවට කිව්වා ඔව් මම දන්නවා මේ සිද්ධිය කියලා. ඔහුගෙන් සාක්ෂි ගත්තෙත් නැහැ. ඔහු යුරෝපයට ගිහින් නොයෙක් විදියේ කතා කියන්න පටන් ගත්තා. දැන් මේ ආණ්ඩුව බලයට ඇවිත් මාස හයක් වෙනවා. අවම තරමින් මහ මොළකරු ගැන හෝ අලුත් තොරතුරක් ගැන කිසිම ආකාරයක යාවත්කාලීන කිරීමක් හෝ සිදු කළේ නැහැ. අසාද් මවුලානා ලංකාවට එන්නේ නැතුව චැනල් ෆෝ නාලිකාවෙන් විශාල හෙළිදරව්වක් කළාට පස්සේ දැන් හය මාසයක් ගත වෙලා තියෙනවා. ඔහු යුරෝපයේ ඉන්නේ. ඔහු ගෙන්වා ගන්න ගත්ත ක්‍රියාමාර්ගය මොකද්ද මේ ආණ්ඩුව? සහරාන්ගේ කණ්ඩායමේ අයි එස් අයි එස් ත්‍රස්තවාදී සැකකරුවන් 24දෙනෙක් තවමත් ජීවතුන් අතර ඉන්නවා. ඔවුන් අත්අඩංගුවේ. ඔවුන්ගෙන් කිසිම කෙනෙක් අසාද් මවුලානා කියන කතාව තහවුරු කරන්න එක වචනයක්වත් පවසා තිබේද? එහෙම ලස්සන කතාවක් කියලා තිබ්බා සහරාන්ගේ කණ්ඩායම බුද්ධි නිලධාරියෙක් මුණ ගැහෙන්න වෑන් රථයකින් ආවා කියලා අසාද් මවුලානා කිව්වා. ඒක ඇත්ත නම් රියැදුරු යොදා ගන්න පුළුවන්නේ සාක්ෂියකට. ඔහු තවමත් බන්ධනාගාරයේ ඉන්නවා. ඒ රියැදුරාගෙන් අහන්න බැරිද අසාද් මවුලානා මොනවා හරි කිව්වද මහ මොළකරු ගැන කියලා. එහෙම බවක් අපිට පේන්නත් නැහැ. ඒ විතරක් නෙවේ සහරාන්ගේ බිරිද ඉන්නේ ජීවතුන් අතර. ඒ නිසා මොවුන්ගෙන් ප්‍රශ්න කරන්න. මම සමග මේ ගැන වාද කරන්න එන්න. මම වාද කරනවා කරුණුත් එක්ක. මම අභියෝග කරනවා.”
මූලාශ්‍රය – අරුණ