පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනුණු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට එරෙහි විමර්ශන කටයුතු අවසන් කරන ලෙස පොලීසියට උපදෙස් නිකුත් කර ඇති බව නීතිපතිවරයා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමෙ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හරීන් ප්‍රනාන්දු මහතා විසින් මීට කලකට ඉහත දී ගොනුකර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඉහත දැනුම් දීම සිදු කළේය.
පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් සිදුකළ විමර්ශන ගොනු අධ්‍යයනය කිරීමෙන් අනතුරුව පෙත්සම්කාර හරීන් ප්‍රනාන්දු මහතාට අදාළ විමර්ශන කටයුතු අවසන් කරන ලෙස නීතිපතිවරයා විසින් ඉකුත් ජුනි මස 20 වනදා උපදෙස් ලබා දුන් බවයි.
මෙම පෙත්සම අද බුවනෙක අලුවිහාරේ, ප්‍රීති පද්මන් සූරසේන සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
නමුත් මෙම පෙත්සම ඉදිරියටත් පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න තීරණය කිරීම සඳහා එය ලබන 18 වනදා ජනක් ද සිල්වා මහතා සාමාජිකත්වය නොදරන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවීමටද අධිකරණය තීරණය කළේය.