දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ආගම් සම්බන්ධයෙන් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව නීතිපතිවරයා විසින් ඊයේ (24) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ ප්‍රීති පද්මන් සූරසේන හා අර්ජුන ඔබේසේකරගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මෙම දැනුම්දීම සිදු කළේය.
අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම කරුණට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ගණනාවක් ලැබී තිබෙන බව සඳහන් කළ අතර අදාළ දේවගැතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර දැනටමත් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත් කියා සිටියේය.