පුවත්

පියවර 2කින් විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමතිය

Published

on

පසුගිය කාලය තුළ විදුලි ගාස්තු වැඩි කළද එය විදුලිබල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට ප්‍රමාණවත් නොවන බැවින් විදුලි බිල වැඩි කිරීම සදහා කළ ඉල්ලීමට මේ වන විට කැබිනට් අනුමැතිය හිමිවූ බව “ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදී ඊයේ (29) අනාවරණය වී තිබේ

මේ අනුව 2023 ජනවාරි සහ ජූනි මාසවලදී පියවර දෙකකින් විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවද ඒ අනුව මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය සදහා අදාළ කටයුතු සිදු කිරීමට නියමිත බවද විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා පැවසීය.

පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතීත්වයෙන් පැවති “ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදී මෙම කරුණු අනාවරණය විය.

විදුලි බල ක්ෂේත්‍රයේ පවතින ගැටලු විසදීමට අදාළ යෝජනා ලබා ගැනීම සදහා විදුලි බල ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල නියෝජිතයන් මෙම රැස්වීමට කැඳවා තිබිණි.

දැනට පවතින පාඩුව පියවා ගැනීමට නම් විදුලි බිල 70%කින් පමණ වැඩි විය යුතු බවත් විදුලි බල මණ්ඩල නියෝජිතයෝ මෙහිදී පැවසූහ.

විදුලි බල මණ්ඩල පාඩුව පියවා ගැනීමේ අරමුණින් විදුලි ගාස්තු වැඩි කළද එය දැරිය නොහැකි මට්ටමක පැමිණ ව්‍යාපාර ආදිය කඩා වැටීමේ අවධානම පිළිබදවද කමිටු සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මේවන විට විදුලිබල මණ්ඩලය බැංකු සහ විදුලි බල සැපයුම්කරුවන් ඇතුළු විවිධ පාර්ශවයන්ට ගෙවිය යුතු ණය ලෙස රු බිලියන 650කට ආසන්න ප්‍රමාණයක් පවතින බවත් මෙහිදී අනාවරණය විය. ඉන් රු. බිලියන 35කට ආසන්න ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තිය සැපයූ ආයතන සදහා ගෙවීමට ඇති බවත් තාප විදුලිය සැපයුම්කරුවන්ට රු. බිලියන 75 කට ආසන්න මුදලක් ගෙවීමට ඇති බවත් විදුලිබල මණ්ඩල නියෝජිතයෝ මෙහිදී පැවසීය. මේ අනුව ඉදිරියේදී ලබා ගැනීමට අපේක්ෂා කරන රු. බිලියන 50ක ණය මුදලින් මෙම සැපයුම්කරුවන්ට ණයවලින් යම් කොටසක් හෝ ගෙවීමට අපේක්ෂා කරන බවද ඔවුහු පැවසූහ.

‍සූර්ය බලශක්ති ඇතුළු පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ නියෝජිතයෝද, විදුලිබල ක්ෂේත්‍රයට අදාළ අනෙකුත් පෞද්ගලික ආයතනවල නියෝජිතයෝද සිය ගැටලු සහ විදුලිබල ක්ෂේත්‍රයේ සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ පිළිබද කාරක සභාව දැනුවත් කළහ.

මෙම අවස්ථාවට විදුලිබල සහ බලශක්ති රාජ්‍ය අමාත්‍ය – ඉන්දික අනුරුද්ධ මහතාද එක්ව සිටියේය. විදුලිබල ක්ෂේත්‍රයේ නියෝජිතයන් සමග පවතින ගැටලු පිළිබදව සාකච්ඡාවට එක්වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මෙම ගැටලුවල විසදුම් ලබා දීමට කටයුතු කරන බවයි.

රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේශන්, එම්.රාමේශ්වරන් යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Trending

Exit mobile version