නීති විරෝධී පිරමිඩ ආයෝජන ක්‍රමයක් පවත්වාගෙන ගොස් රට පුරා තැන්පතුකරුවන්ගෙන් රුපියල් බිලියන 1.5 කට අධික මුදලක් ලබාගෙන අනිසි පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනෙකු ලබන 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්” ස්මාර්ට් වින්” නමැති පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරු තිදෙනෙක් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ මෙම සැකකරුවන් වල්ලපට්ටා පැල රෝපණය කිරීමේ ව්‍යාපෘතියක් පවත්වාගෙන යන බව සඳහන් කරමින් එක් පැළයක් සඳහා රුපියල් 30000/- ක් බැගින් තැන්පතුකරුවන්ගෙන් ආයෝජන ලෙස ලබාගෙන තිබෙන බවය.
මෙම සමාගම ශ්‍රී ලංකා මහා බැංකුවේ අනුමැතියකින් තොරව නීති විරෝධී ලෙස පවත්වාගෙන ගොස් ඇති අතර, මෙසේ නීති විරෝධී ලෙස රට පුරා ජනතාවගෙන් ලබා ගෙන තිබෙන තැන්පතු මුදල්වල වටිනාකම රුපියල් බිලියන 1.5 කට අධික බවට විමර්ශන වලින් කරුණු අනාවරණය වී තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කලේය.