Connect with us

පුවත්

පිරිසුදු දෑතින් එන්නැයි ජනපති කියයි

Published

on

ගාසා තීරයේ මතුවී තිබෙන ගැටළුව සම්බන්ධව එක් ආකාරයකට සලකමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාව වෙනත් ආකාරයකට විනිශ්චය කිරීම සාධාරණ නොවන බවත්, ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරයේදී පිරිසිදු දෑතින් පැමිණෙන ලෙස එක්සත් ජාතීන්ගෙන් සංවිධානයෙන් ඉල්ලා සිටින බවත් පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එවිට ශ්‍රී ලංකාව ඊට පිළිතුරු ලබා දෙන බවද කියා සිටියේය.

එසේ සාධාරණත්වයක් නොමැති නම් ශ්‍රී ලංකාව විසින් ඊට පිළිතුරු සැපයිය යුතුදැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ වැලිමඩ අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (03) පස්වරුවේ එක්වෙමිනි. 

මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය පිළිබඳ සඳහන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියේ සෑම රටක්ම මෙම තීරණාත්මක ප්‍රකාශය සමඟ අනුගත විය යුතු බවයි. 

ඔක්‌තෝබර් 7 වැනිදා හමාස්‌ සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාරයක්‌ එල්ල කළ අවස්‌ථාවේ ශ්‍රී ලංකා රජය එම ක්‍රියාව කඩිනමින් හෙළා දුටු බව සිහිපත් කළ ජනාධිපතිවරයා, ත්‍රස්‌තවාදය හෙළා දකින අතරම පලස්‌තීන රාජ්‍යත්වය පිළිබඳ මූලධර්මයට ශ්‍රී ලංකාවේ සහයෝගය යළිත් තහවුරු කළ බවත් පෙන්වා දුන්නේය. ජාත්‍යන්තර ප්‍රජාව තුළ සිදු වූ මෙම හෙළා දැකීම, ජාත්‍යන්තර නීති සහ රීති රාමුව තුළ ඊශ්‍රායලයට පළිගැනීමේ අයිතියට ඉඩ සැලසූ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත්, එවැනි මූලධර්ම විශ්වීය වශයෙන් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නොතිබීම පිළිබඳව සිය කනස්සල්ල පළ  කළ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනවලට අනුව ගාසා තීරයේ මිනිසුන් 10,000 කට වැඩි පිරිසක් ඝාතනය කිරීම, යම් අයෙකු තමාගේ රට තුළ පවතින යුද්ධයේ සාධාරණත්වය සහ ජාත්‍යන්තර ප්‍රජාව විසින් ඊට දක්වනු ලබන ප්‍රතිචාර පිළිබඳ ප්‍රශ්න මතු කරන බව ද සඳහන් කළේය.

එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා සම්මත කර ඇති බව ද පෙන්වා දුන් ජනාධිපතිවරයා  එක හා සමාන ප්‍රශ්න පවතින ශ්‍රී ලංකාව සහ ගාසා තීරය සම්බන්ධයෙන් මෙම ජාතීන් අනුගමනය කරන ප්‍රවේශයේ වෙනසක් ඇත්තේ මන්දැයි ද ප්‍රශ්න කළේය. ඒ අනුව කලාප දෙකටම එකම නීති ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජාත්‍යන්තර නීතියට අනුව ත්‍රස්තවාදය මැඩලීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග මූලික නිදහස ආරක්ෂා කිරීම ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ රාජ්‍යයන්ගේ බැඳීම්වලට පූර්ණ ලෙස අනුකූල විය යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. කෙසේ වුවත් මෙම මූලධර්ම ක්‍රියාවට නැංවීමේදී පවතින නොගැලපීම පිළිබඳව ද ජනාධිපතිවරයා ප්‍රශ්න කළේය.

එමෙන්ම, ගාසා තීරයෙහි මතුවී තිබෙන ආර්ථික අර්බුදයේ මානව හිමිකම් බලපෑම ගැන කනස්සල්ල පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආහාර සුක්ෂිතභාවය නොමැතිවීම, ඉන්ධන හිඟය, අත්‍යවශ්‍ය ඖෂධ නොමැතිකම සහ ගෘහාශ්‍රිත ආදායම අඩු වීම ශ්‍රී ලංකාව පසුගිය වසරේ මුහුණ දුන් අත්දැකීමට වඩා දරුණු බව ද පැවසීය.

අවසන් වශයෙන් දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ පැමිණිලි හා ඉල්ලීම් වලට පිළිතුරු සැපයීමේ වැදගත්කම අවධාරණය කරමින්, සීමාකරණයට ලක්කිරීම සහ වෙනස්කොට සැලකීමට එරෙහිව සටන් කිරීමට පියවර ගන්නා ලෙස ද ඉල්ලා සිටියේය. 

බටහිර රටවල් විසින් ශ්‍රී ලංකාව සහ ගාසා තීරය වෙත යොදා ගන්නා විවිධ නිර්නායකයන්ගේ වෙනස පිළිබඳ ප්‍රශ්න කළ ජනාධිපතිවරයා  ජාත්‍යන්තර කටයුතුවලදී ද පිරිසිදු දෑත් වලින් කටයුතු කිරීම විශ්වීය අවශ්‍යතාවයක් විය යුතු බවත් ප්‍රකාශ කළේය.

වැලිමඩ ජනතාවගේ අධිකරණ කටයුතු පහසු කිරීම සඳහා දිසා අධිකරණයක්, මහෙස්ත්‍රාත් අධිකරණයක්, කාර්යාල පහසුකම් ඇතුළු සියලු පොදු පහසුකම්වලින් සමන්විතව ඉදිකර ඇති මෙම තුන් මහල් අධිකරණ සංකීර්ණය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 460 කි.

මෙම අධිකරණ සංකීර්ණය ඉදිකිරීම මඟින් ඉතා අවම පහසුකම් යටතේ දිසා/මහේස්ත්‍රාත් සං‍යුක්ත අධිකරණයක් ලෙස පැවති වැලිමඩ අධිකරණය, දිසා හා මහේස්ත්‍රාත් අධිකරණ කටයුතු සඳහා විවෘත වනු ඇත.

සර්ව ආගමික වතාවත් මධ්‍යයේ සමරු ඵලකය නිරාවරණය කර අධිකරණ සංකිර්ණය විවෘත කිරීම ජනාධිපතිවරයා අතින් සිදු විය. 

වැලිමඩ නිතිඥ සංගමය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ උපහාර තිළිණයක් ද මෙහිදී පිළිගැන්වීය. 

මෙම අවස්ථාව ඇමතූ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා 

මේ දක්වා වැලිමඩ උසාවි සංකීර්ණය පවත්වාගෙන පැමිණියේ ඉතාම අසීරු ස්ථානයක සිටයි. එම ගොඩනැගිල්ල නායයාමේ අවදානම් තත්ත්වයක තිබියදීත් නීතිය පසිඳලීමේ කාර්යය සිදු කළා. 

මෙම උසාවි සංකීර්ණය සඳහා  මුල්ගල තැබුවේ 2019 පෙබරවාරි මාසයේදීයි. 2015 -2019 කාලයේදී වත්මන් ජනාධිපතිවරයා අගමැතිවරයා ලෙස අධිකරණ  සංකීර්ණ ඇතුළු ගොඩනැගිලි  85ක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබුවා. එයින් ව්‍යාපෘති 45 ක් විවෘත කිරීමට හැකි වුණා.  පසුගිය වසරේ පැවති ආර්ථික අර්බුදය නිසා මේ වසරේදී මෙවැනි අධිකරණ සංකීර්ණයක් විවෘත වන්නේ දෙවැනි වතාවටයි. ඉන් පළමුවැන්න රත්නපුර දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරයා අතින් විවෘත වුණා. දෙවැනි විවෘත කිරීම අද සිදුකරනු ලබනවා. තෙල්දෙණිය උසාවි සංකීර්ණය ලබන මාසයේදී අවසන් කර විවෘත කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

පසුගිය කාලයේ රටේ සියලු ජනතාවට අවාසනාවන්ත තත්ත්වයක් උදා වූ බව අප දන්නවා. රටක ව්‍යවස්ථාව සහ විධායකය අකර්මණ්‍ය වූ විට ජනතාවට කිසිඳු සහනයක් ලැබෙන්නේ නැහැ. පසුගිය වසරේදී  විධායකය සහ ව්‍යවස්ථාදායකය  අර්බුදයට ලක් වූණා. 

එම අර්බුදකාරී තත්ත්වය අධිකරණයටත් පැමිණියා නම්  රට මීට වඩා අර්බුදයකට පත්වීමට ඉඩ තිබුණා. පාස්කු ප්‍රහාරය, කෝවිඩ් වසංගතය වැනි තත්ත්වයන් රාජ්‍යයේ පැවැත්මට අභියෝගය වූ නිසාම ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්වුණා. 

නිදහසින් පසු වසර 75ක් මේරට පාලනය කළේ ජනතාව විසින් බලය ලබාදුන් කණ්ඩායමක්. නීතියට අනුව මැතිවරණ පවත්වා මැතිවරණයෙන් ජයගත් කණ්ඩායම් පාලන බලය ක්‍රියාත්මක කළා.

නමුත් වසර 75ක් රට පාලනය කළ ක්‍රමවේදය සහ පසුගිය මාස 15 තුළ මේ රටේ ක්‍රියාත්මක වු පාලන ක්‍රමවේදය කිසිසේත්ම සන්සන්දනය කරන්න බැහැ.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවැරදි දේශපාලන නායකත්වය නිසා රට නැවත යථා තත්ත්වයට පත් කිරීමට අද වන විට හැකියාව ලැබී තිබෙනවා. 

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල සිල්වා

සුදු අධිරාජ්‍යවාදීන් නිසා ඌව පළාතට  විශාල සමාජ අසාධාරණයක් සිදු වුණා. එම නිසාම ඌව පළාත අනෙක් පළාත්වලට වඩා පසුගාමි තැනකට පත් වුණා .  අනෙකුත් රාජ්‍ය පාලකයන් අනෙක් දිස්ත්‍රික් සංවර්ධනය වේගයෙන් ඉදිරියට ගෙන ගියත් ඌව පළාතට එවැනි සංවර්ධනයක් උදා කළේ නැහැ. නමුත් වත්මන් ජනාධිපතිතුමා  ඌව විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ලබාදීමට මේ වන විටත් කටයුතු කර තිබෙනවා. මහනුවර සිට බදුල්ලට පැමිණෙන රජ මාවත  සංවර්ධනය කිරීම සඳහා අයවැයෙන් රුපියල් මිලියන 685ක් වෙන් කර තිබෙනවා.  අද මේ විවෘත කරන අධිකරණ සංකීර්ණය සඳහා රුපියල් මිලියන 460 ක් ලබාදී තිබෙනවා. එම සියලු සංවර්ධන කාර්යයන් නිසා ඌව පලාත බදුල්ල දිස්ත්‍රික්කය  අනෙකුත් පළාත් වලට සාපේක්ෂව ඉදිරියට පැමිණෙමින් තිබෙනවා. 

ඌව පළාතට විදේශ ආයෝජකයන්ගේ ආකර්ෂණය වැඩිවෙමින් තිබෙනවා. නමුත් එම ආයෝජන ඇති කිරීමට අධිකරණ පහසුකම්වල ගුණාත්මක භාවය වැඩි කළ යුතුය. අද මේ  විවෘත කරන අධිකරණ සංකීර්ණය  නිසා ආයෝජන අවස්ථාවන් පවා ඉහළ මට්ටමක් දක්වා වර්ධනය කර ගත හැකියි. ගොඩනැගිලි ඉදි කළ පමණින් ජනතාවට එහි ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ සඳහා අධිකරණයේ සිටින සහ ඊට අදාළ අංශ එකට එක්ව සාමූහිකව කටයුතු කළ යුතුයි.

රාජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න, තේනුක විදානගමගේ, චාමර සම්පත් දසනායක, අරවින්ද කුමාර්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය, ඌව පළාත් ආණ්ඩුකාර ඒ ජේ එම් එල්  මුසම්මිල්, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මහාධිකරණ විනිසුරුවරුන්, දිසා අධිකරණ විනිසුරුවරුන්, මහෙස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන් සහ වැලිමඩ නීතිඥ සංගමයේ සභාපති කලානි පී. පතිරණ මහත්මිය සහ එහි සාමාජිකයන්  ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

ජාත්‍යන්තර සාගර දිනය අද

Published

on

By

ජාත්‍යන්තර සාගර දිනය, අදට (08) යෙදී තිබේ.

මෙවර එහි තේමාව, ”අප රකින අසිරිමත් මහ සයුර සුරකිමු” යන්නයි.

සාගර දින ජාතික සැමරුම, කොළඹ වරාය නගරයේදී අද පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

එහිදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බව, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ, ජනාධිපති අතිරේක ලේකම් එස්. පී. සී. සුගීෂ්වර මහතා සඳහන් කළේ ය.

ජගත් සාගර දිනයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රථම වරට අවධානයට ලක් වුණේ, 1992 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ පරිසර හා සංවර්ධන සමුළුවේදීයී.

එහි ප්‍රතිපලයක් ලෙස, 2008 වසරේදී, ජුනි 8 වැනිදා ලෝක සාගර දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.

සාගරය, භූමියේත් ජීවයේත් පැවැත්මට ලබා දෙන්නේ අසීමාන්තික දායකත්වයක්.

මිනිසාට අවශ්‍ය ඔක්සිජන් ප්‍රතිශතයෙන් සියයට 50 ත් 85 ත් අතර ප්‍රමාණයක් සාගරයෙන් හිමි වේ.

කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතයෙන් සියයට 30 ක් අවශෝෂනය කර ගන්නේ ද සාගරයයි.

පෘථිවියේ විශාලතම ආහාර ගබඩාව හා ඉන්ධන ගබඩාව ලෙස ද, සයුර හැඳින්විය හැක.

මෙවන් අසීමාන්තික දායකත්වයක් ලබා දෙන සාගරය, අද වන විට බරපතල තර්ජනයකට ලක්ව ඇත.

ඉන් බරපතලම ගැටලුව වී ඇත්තේ,  ප්ලාස්ටික් පොලිතින් ඇතුළු විවිධ අපද්‍රව්‍ය සාගරයට මුදා හැරීමයි.

Continue Reading

පුවත්

කුණු ගෙනියන ට්‍රැක්ටරයේ සිට අල්ලස් ගන්නවා – මහාධිකරණ විනිසුරු රංග දිසානායක

Published

on

By

සමහරු වංචාවෙන් දූෂණයෙන් හොයපු ගණන කොච්චරද කියනවනම් සමහර ඒවා තමාට සම්මත ක්‍රමයට කියවීම පවා දුෂ්කර බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පැවසීය.

කුණු ගෙනියන ට්‍රැක්ටරයේ සිට අල්ලස් ගන්නා ක්‍රමවේදයක් රටේ නිර්මාණය වී පවතින බව පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෝක ගුරු දිනයට සමහර ගුරුවරියන් සාරි හතළිහක් විතර ගෙදරට ගෙනියන බවද සඳහන් කළේය.

ඇතැම් දරුවන් ගුරුවරියට සාරියක් ගෙනියන්න නොදුන්නොත් එදින පාසලට පවා නොයන බව ඔහු කීවේය.

ජනතාව හොරු අල්ලන්න කිව්වත් බලාපොරොත්තු වන්නේ ඔවුන් කියන හොරු ඇල්ලීම පමණක් බවත් රටේ සුදු කරපටි වංචනිකයන් ඉදිරියෙන් සිටින හෙයින් ඔවුන් අත්අඩංගුවට ගැනීම අද ලොකු අභියෝගයක් බවත් හෙතෙම සඳහන් කළේය.

රංග දිසානායක මහතා මෙසේ පැවසුවේ ඊයේ කොළඹදී පැවති සම්මන්ත්‍රණයකදීය.

මූලාශ්‍රය – ලංකාදීප

Continue Reading

පුවත්

මාතර බන්ධනාගාරය කොටවිලට

Published

on

By

මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයට ගෙනයාමට කඩිනමින් කටයුතු කරන බව අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා කියයි.

ඊයේ (07) පස්වරුවේ මාතර බන්ධනාගාරයේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

මාතර බන්ධනාගාරයේ පවතින අඩුපාඩු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අධිකරණ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා,

“මාතර බන්ධනාගාරයේ පවතින අවශ්‍යතා සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් පසුව විශේෂ සාකච්ඡාවක් සිදු කළා. මෙම බන්ධනාගාරය ස්ථාපිත භූමියෙහි බන්ධනාගාරයකට අවශ්‍ය  කටයුතු සඳහා ඉඩකඩ ප්‍රමාණවත් නැහැ. ඒ නිසාවෙන් බන්ධනාගාර නිලධාරීන් කාර්ය මණ්ඩල මෙන්ම රැඳවියන්ද දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා. මේ සඳහා විසඳුමක් වශයෙන් මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයට කඩිනමින් ගෙන යාමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට සාකච්ඡා කරනු ලැබුවා.”

“මාතර නව අධිකරණය ස්ථාපිත කර තිබෙන්නේ කොටවිල ප්‍රදේශයේයි. එහි බන්ධනාගාරය ස්ථාපිත කිරීමට ඉඩමක් වෙන් කර තිබෙනවා. පසුගිය දිනවල පැවති කලබලකාරී තත්ත්වය සමඟ මාතර බන්ධනාගාරයට හානි සිදු වුණා. එම තත්ත්වයත් නිරීක්ෂණය කරනු ලැබුවා. රටේ සංවර්ධන සැලැස්ම සමඟ බන්ධනාගාරය දැනට ස්ථාපිත භූමිය ‌ඵෙතිහාසික වටිනාමක් සහිත භූමීයක් බවට පත් කිරීමේ හැකියාව තිබෙනවා. මේ සියලු කටයුතු පිළිබඳව අද සාකච්ඡා කළා. ඒ අනුව මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර කඩිනමින් ඉදිරි කටයුතු සිදු කරනවා.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved