තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අපේකෂා කරන ඒ සඳහා සුදුසුකම්ලත් රජයේ නිලධාරීන්, ආරක්ෂක නිලදාරීන් සහ තැපෑල් ඡන්ද සහතික කිරීමේ නිලධාරීන් වෙත මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව අද (12) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ දිනය, තැපෑලේ දී සිදුවිය හැකි ප්‍රමාදවීම් සහ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන මාර්තු 17 වැනිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර තිබේ.
ඒ අනුව 17 වැනි දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර එම අයදුම්පත්‍ර අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලැබිය යුතු බවත් එම කොමිෂන් සභාව පවසයි.
මේ අතර අයදුම්පත්‍ර ලැබීමේදී සිදුවිය හැකි ප්‍රමාදය වලක්වා ගැනීම සඳහා මාර්තු 13 වැනිදා සිට 17 වැනිදා දක්වා කාලය තුළ සම්පූර්ණ කරන තැපැල් ඡන්ද අයතුම්පත්‍ර තැපෑල භාර දීමෙන් වැළකී ඒවා එක් එක් දිස්ත්‍රික් අනුව වෙන්කර වෙන වෙනම කවරවල බහා සහතික කිරීමේ නිලධාරී කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට අතින් ගෙනවිත් භාර දෙන ලෙසද එම නිවේදනයේ සඳහන් කර තිබේ.
එමෙන්ම පසුගිය 10 වැනි දින නාමයෝජනා දැන්වීම පළ කළ කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ පූනාකරි ප්‍රාදේශීය සභාව, මන්නාරම දිස්ත්‍රික්කයේ මන්නාරම ප්‍රාදේශීය සභාව හා අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතනවල පමණක් තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය එළැඹෙන 19 වැනිදා බවත් මැතිවරණ කොමිෂන් සභාව සිය නිවේදනය මගින් සඳහන් කර ඇත.
(පෙර පුවත 2025 මාර්තු 12 පෙ.ව.7.49)
පුංචි ඡන්දයට තැපැල් ඡන්ද ඉල්ලුම් පත් භාර ගැනීම අදින් අවසන්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර භාර ගැනීම අද (12) දිනයෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එම කොමිෂන් සභාව පැවසුවේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අයැදුම්පත්‍ර භාර ගැනීමේ කාලය අද මධ්‍යම රාත්‍රි 12.00 න් අවසන් වන බවය.
තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීමට අපේක්ෂා කරන රාජ්‍ය නිලධාරීන් හා ආරක්ෂක අංශ නිලධාරීන් ඡන්ද බලප්‍රදේශයට අදාළ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි වෙත සහතික කිරීමේ නිලධාරීන් මගින් අයැදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේ හැකියාව පවති.
නාමයෝජනා දැන්වීම පළකළ පළාත් පාලන ආයතන 336ක් සඳහා මැතිවරණයට ඉදිරිපත් වන පිළිගත් දේශපාලන පක්ෂවල බලයලත් නියෝජිතයන් පත්කිරීමේ ලිපි මාර්තු 14වනදා පෙරවරු 8.30ට පෙර ඒ ඒ පළාත් පාලන ආයතනයේ තේරීම්භාර නිලධාරී වෙත ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ.
මේ අතර එළඹෙන මාර්තු මස 13වැනිදා පෝය දිනයක් වුවද, මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලය සහ සියළුම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල විවෘතව තැබීමට කටයුතු කර ඇති බව ද එම කොමිෂම වැඩිදුරටත් සදහන් කළේය.