පුවත්

පුද්ගල ඝාතනයකට අධි චෝදනා ලැබූ දෙදෙනෙක් වසර 27කට පසු නිදහස්

Published

on

රාජාංගණයේදී පුද්ගලයකු ඝාතනය කළ බවට මීට වසර 27කට පෙර (1997දී) අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටි විත්තිකරුවන් දෙදෙනකු එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර තිබේ.

උතුරු මැද පළාත්බද පූර්වගාමි මහාධිකරණ විනිසුරු සහ කුලියාපිටිය වත්මන් මහාධිකරණ විනිසුරු මනොජ් තල්ගොඩපිටිය මහතා මෙම නියෝගය නිකුත් කලේය.

රාජංගණයේ පදිංචිකරුවන් වන දැදිගමගේ ප්‍රේමසිරි නොහොත් උක්කුවා සහ කේ. වසන්ත කුමාර නොහොත් කේ. වසන්ත නමැති විත්තිකරුවන් දෙදෙනෙක් මෙසේ නිදොස් කොට නිදහස් කර තිබේ.

මෙහිදී මහාධිකරණ විනිසුරුවරයා නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර ඇත්තේ විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය අසමත්ව ඇති බැවින් චුදිතයන් නිදොස් කොට නිදහස් කරන බවය.

1997 ඔක්තෝබර් 29 දින හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර මහාධිකරණ බලප්‍රදේශයට අයත් රාජාංගණයේදී අදාළ විත්තිකරුවන් පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට නීතිපතිවරයා විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය ප්‍රකාරව ඔවුන්ට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබුණි.

 පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් අනුරාධපුර මහාධිකරණයේ රජයේ අධිනීතිඥවරයා පෙනී සිටි අතර, විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ දර්ශන කුරුප්පු මහතා පෙනී සිටියේය.

Trending

Exit mobile version