Connect with us

පුවත්

‍පෙබරවාරියේ තායි අගමැති ලංකාවට

Published

on

ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් කිරීම සඳහා තායිලන්ත අගමැති ශ්‍රීතා තවිසින් මහතා ලබන පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

තායිලන්ත අගමැති ශ්‍රීතා තවිසින් මහතාට මෙරටට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ආරාධනයකට අනුව ඒ මහතා මෙසේ පැමිණීමට නියමිත බවද පැවසේ.

දෙරට අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් වන සාකච්ඡා වටය අවසන් වූ වහාම අගමැතිවරයා මෙරටට පැමිණෙන බව තායිලන්ත වාණිජ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.

මේ නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් වන නව වැනි සාකච්ඡා වටය පසුගියදා කොළඹ දී නිමාවට පත් වූ අතර, තායිලන්තය නියෝජනය කරමින් උපදේශකවරයකු ලෙස තායිලන්තයේ ව්‍යාපාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අවුරමොන් සුප්තවීතම් මහතා සහභාගි වී තිබේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් වසර 4කට පසු මේ සාකච්ඡා පසුගිය නොවැම්බර් මාසයේදී ආරම්භ කරන ලද අතර, තායිලන්ත අගමැතිවරයා මෙරටට පැමිණීමට පෙර මේ දක්වා පැවති සාකච්ඡාවල ප්‍රතිඵල තායිලන්ත ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද එම වාර්තා පෙන්වා දෙයි. 

ශ්‍රී ලංකාව කුඩා රාජ්‍යයක් වුවද නාවික ගමනාගමනය සම්බන්ධයෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවද ඊට අමතරව ශ්‍රී ලංකාව ස්වාභාවික සම්පත්වලින් පොහොසත් රටක් බවද තායිලන්ත වාණිජ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දී ඇතැයි ද පැවසේ.

මේ අතර තායිලන්තයේ කර්මාන්ත විශාල ප්‍රමාණයකට මෙම යෝජිත වෙළෙඳ ගිවිසුම ප්‍රයෝජනවත් වන බවද වාහන, විලාසිතා, මැණික්, ලෝහ, විදුලි උපකරණ, යන්ත්‍ර, රබර් අත්වැසුම්, සුරතල් මත්ස්‍ය ආහාර ඒ අතර වන බවද තායිලන්ත වාණිජ අමාත්‍යාංශ වෙළෙඳ සාකච්ඡා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චූටිමා ඉම්සවස්ඩිකුල් මහත්මිය ප්‍රකාශ කරයි.

ඊට අමතරව මූල්‍ය, රක්ෂණ, සංචාරක, පර්යේෂණ ආදී සේවා අංශයට ද ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම ප්‍රයෝජනවත් වන බව ඒ මහත්මිය පෙන්වා දෙයි. 

මේ වසරේ ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සිදු කළ වෙළෙඳ ගනුදෙනු ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 320.37 දක්වා ඉහළ ගොස් තිබේ.

පුවත්

උතුරු කොරියාවට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා හදිසියේ බිඳ වැටීමකට ලක්වුණු අතර මේ හේතුවෙන් රජයේ වෙබ් අඩවි සහ නිල ප්‍රවෘත්ති සේවාවන් වෙත ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ අන්තර්ජලය සහ තාක්ෂණ යටිතල පහසුකම් නිරීක්ෂණය කරනු ලබන පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ එය සයිබර් ප්‍රහාරයකට වඩා අභ්‍යන්තර ගැටළුවක් විය හැකි බවය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ඇනහිටීමත් සමග උතුරු කොරියාවේ ප්‍රධාන නිල ප්‍රවෘත්ති සේවා, විදේශ අමාත්‍යංශය සහ ජාතික ගුවන් සේවය වන එයාර් කොරියෝ ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක ප්‍රවේශය අවහිර වූ අතර එය එරට වේලාවෙන් දහවල් දක්වා පැවැති බවද වාර්තා වේ.

උතුරු කොරියාව ලොව වඩාත්ම දැඩි ලෙස පාලනය කරන ලද අන්තර්ජාල පද්ධතිවලින් සමන්විත රටක් වන අතර එයට ඕනෑම ආකාරයක මාර්ගගත සන්නිවේදනයකට ප්‍රවේශයද ඇතුළත් වේ.

සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය ඇත්තේ රජය විසින් පිහිටුවන ලද අන්තර් ජාලයකට පමණක් වන අතර එය පුළුල් ගෝලීය ජාලයකට සම්බන්ධ වී නොමැත. 

කෙසේ නමුත් රජයේ සහ ප්‍රභූ කිහිප දෙනෙකුට පමණක් විවෘත අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිව ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය වසරවලදී සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ බවට සැක කෙරෙන විශාල අන්තර්ජාල ඇනහිටීම්ද අත්විඳ ඇති බවය.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved