ආගමික නායකයන් ආණ්ඩුවට බලපෑම් කිරීම මෙන්ම උපදෙස් දිය යුතු කාරණා තිබුණත් රටේ ආරක්ෂාවට බලපාන පොලිස්පති ධුරය සම්බන්ධයෙන් කරන අතපෙවීම් කිසිසේත්ම අනුමත කළ නොහැකි යැයි අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ පැවැසූහ.
ආගමික නායකයන් මේ අන්දමින් බලපෑම් කිරීමට පටන් ගතහොත් ඉදිරියේදී රජයට කිසිදු තනතුරක් පත්කර ගැනීමට නොහැකි වනු ඇතැයිද ආනන්ද හිමියෝ කියති.
අන්‍යාගමික නායකයන් මෙලෙස බලපෑම් කරන විට බහුතර බෞද්ධයන්ගේ පැත්තෙනුත් බලපෑම් කිරීමට පටන් ගතහොත් රජයට කිසිවක් කරගත නොහැකි වනු ඇතැයිද උන්වහන්සේ සඳහන් කරති.
පොලිස්පති ධුරය සම්බන්ධයෙන් කාදිනල්තුමා යම්කිසි ලිපියක් ජනාධිපතිවරයාට යවා ඇතැයි දැනගන්නට ඇති බවත්, එය කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් නාරම්පනාවේ ආනන්ද හිමියෝ කියති.
හිස්ව පවතින පොලිස්පති ධුරයට සුදුසු ජ්‍යෙෂ්ඨයකු පත්කිරීම ජනාධිපතිවරයාගේ වගකීමක් බවද උන්වහන්සේ සඳහන් කරති.
පාස්කු ප්‍රහාරයේ දී සිය රාජකාරිය ඉටු කිරීම පැහැර හැර ඇති බවට චෝදනා එල්ල වී ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති තනතුරට පත් කිරීම ගැන සලකා බැලීම සහමුලින්ම නතර කර දමන ලෙසත් එම තනතුරට ඔවුන්ගේ නම් යෝජනා කිරීම හෝ සලකා නොබලන ලෙසත් ඉල්ලමින් මැල්කම් කාදිනල් රංජිත් හිමි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉකුත් 30 වැනිදා ලිපියක් යවා තිබිණි.
(අරුණ)