පුවත්

පොලිස් ඉල්ලීම ඉවතට; වසන්තට හා තවත් 6කට ඇප

Published

on

බන්ධනාගාරයේ රඳවා සිටින සරසවි සිසුන් නිදහස් කරන්නැයි ඉල්ලා කළ විරෝධතාවයක් අතරතුරදී පොලිස් රාජකාරියට බාධා කරන ලදැයි කියමින් කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 07 දෙනකු ඇප මත මුදාහැරීමට මහර මහෙස්ත්‍රාත් සමන් පරණලියනගම මහතා අද (19) නියම කළේය.

සැකකරුවන් පොදු දේපළ පනත යටතේ වැරදි කොට ඇතැයි කියමින් ඔවුන් රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්‍ෂෙප කළ මහෙස්ත්‍රාත්වරයා රුපියල් ලක්‍ෂය බැගින් වටිනා ශරීර ඇප මත සැකකරුවන් සියළු දෙනා මුදාහැරීමට නියම කළේය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් කරුණු වාර්තා කරමින් රිමාන්ඩ් බරයට පත් කොට සිටින කැලණි සරසවියේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කරන්නැයි ඉල්ලා අන්තර් විශ්වවිද්යාලයීය ශිෂ්ය බලමණ්ඩලය කැලණිය විශ්ව විද්‍යාලය ඉදිරිපිට ඊයේ (18) රාත්‍රීයේ විරෝධතාවයක් සංවිධානය කර තිබු බවත් පසුව ඔවුන් පන්දම් රැගෙන කොළඹ – නුවර මාර්ගය අවහිර කිරීමට කටයුතු කළ බවත් දැනුම් දුන්නේය.

ප්‍රධාන මාර්ගය අවහිර නොකරන ලෙස ඔවුන්ට දැනුම් දුන්නත් ඔවුන් එම උපදෙස් පිළිනොගත් බවත් ඉන් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවු බවත් මේ හේතූවෙන් පිරිස විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කිරීමේදී සැකකරුවන් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා වන අන්දමේ කටයුතු කළ බවත් නිලධාරීන්ගේ මුහුණු ආවරණ වලට සහ බැටන් පොලු වලට පහරදී ඒවාට අලාභ කළ බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකරුවන් පොදු දේපළ පනත යටතේ දඬුවම් ලබිය හැකි වරදවල් කොට ඇති හෙයින් සැකකරුවන් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන්නැයි පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කණ්ඩායමක් අධිකරණයේ කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ලබාදී ඇති නිදසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය භූක්ති විඳි බවත් ඒ හැර පොලිසියය සඳහන් කරන ආකාරයේ වැරදි කොට නැති බවත් පැවසුහ.

අධිකරණයට ඉදිරිපත් කොට ඇති සියලු දෙනා සරසවි සිසුන් බවත් ඔවුන්ට ඇප නියම කරන ලෙසත් නීතීඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

දෙපාර්ශවයේ කරුණු සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් සියලු දෙනා ඇප මත මුදාහැරීමට නියම කළේය.

සැකකරුවන් වෙනුවෙන් නීතීඥ නුවන් බෝපගේ, දේශාල් පෝල්, විරේන්ද්‍රා කනන්කේ, චමිලා සිරිවර්ධන, සුවස්තිකා අරුලිංගම්, රිවිහාර පින්නදුව යන මහත්ම මහත්මීන් ඇතුළු නීතීඥවරු කණ්ඩායමක් පෙනී සිටියහ.

Trending

Exit mobile version