Connect with us

පුවත්

පොලිස් නිලධාරීන්ට වෙනම වැටුප් ව්‍යුහයක්

Published

on

පොලිස් දෙපාර්තමේන්තුව සඳහා වෙනම වැටුප් ව්‍යුහයක් නිර්මාණය කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අද (28) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ ඒ සඳහා මේ වනවිට සැලසුම් සකස් කර ඇති බවය.

එමෙන්ම කිසිදු පොලිස් නිලධාරියෙකු හෝ රාජ්‍ය සේවකයෙකුගේ වැටුප් අඩු කිරීමක් සිදුකර නැති බවත් අවුරුදු කිහිපයකට පසු මූලික වැටුප වැඩි කිරීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

“දැනට පොලිස් කොස්තාපල්වරයෙකුගේ මූලික වැටුප රුපියල් 29,540. ඒක මේ අවුරුද්දේ 44,293ක් වෙනවා. ඒක මේ අවුරුද්දේ වැඩිවෙනවා 6,182ක්, පොලිස් සාජන්වරයෙකුට රුපියල් 6,441.54, SI කෙනෙකුට, 6551.72ක්, IP කෙනෙකුට 7040.24, CI කෙනෙකුට 7655.74ක් ASP කෙනෙකුට 8244.11, SP, SSP කෙනෙකුට 9,925ක්, DIG සීනියර් DIG, 11,118, IGP 13,223ක් මේ අවුරුද්දේ වැඩි වෙනවා.

ඊට අමතරව පොලිස් කොස්තාපල්වරයෙකුගේ දැනට තියෙන මූලික වැටුප 29,540 වැටුප මේ අවුරුද්දේදී 44,293ක් වෙනවා 2026දී 46,921 වෙනවා 2027දී 49,550ක් වෙනවා අද මූලික වැටුප 29,540ක් තියෙන කොට 2027 වසරේදි 49,550ක් වෙනවා. ඒ වගේම මේකට අදාළව අනෙකුත් දීමනාත් වැඩි වෙනවා.”

පුවත්

පාර්ලිමේන්තු කථා පරිවර්තන ක්ෂේත්‍රයේ විශිෂ්ට මෙහෙවරට උපහාර ඇගයීමක්

Published

on

By

පාර්ලිමේන්තු කථා පරිවර්තන ක්ෂේත්‍රය වෙනුවෙන් ඉටුකළ විශිෂ්ට මෙහෙය උදෙසා පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධාන කථා පරිවර්තක කේ. රාහුලන් මහතාට සහ මෑත කාලීනව විශ්‍රාම ලැබූ හිටපු කතා පරිවර්තකයන් පස්දෙනෙකුට උපහාර දැක්වීමේ උළෙලක් පසුගියදා (26) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උළෙල ව්‍යවස්ථාදායක දෙපාර්ත‍මේන්තුව යටතේ ඇති පාර්ලිමේන්තු කතා පරිවර්තන කාර්යාලය මගින් සංවිධානය කර තිබිණි.

මෙහිදී, දශක තුනකට වැඩි පාර්ලිමේන්තු සේවා කාලය තුළ ඉටුකළ විශිෂ්ට මෙහෙවර උදෙසා පාර්ලිමේන්තුවේ හිටපු ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සහ පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධාන කථා පරිවර්තක එම්. කේ. රාහුලන් මහතාට ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන ඉහළම ගෞරව සම්මානය පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය විසින් ප්‍රදානය කිරීම සිදුවිය.

එසේම මෑත කාලීනව විශ්‍රාම ලැබූ හිටපු නියෝජ්‍ය ප්‍රධාන කථා පරිවර්තකයන් වන කේ.එම් ක්‍රිස්ටෝපර් ,අයි.ඩී.එල් රත්නසීලි සහ හිටපු ජ්‍යෙෂ්ඨ කථා පරිවර්තකයන්වන එස්. ආර්.එම් නිසාම්, එච්.වී.එස් හීන්දෙණිය සහ සුනිල් වීජේසිංහ යන මහත්ම මහත්මීන්ට මෙහිදී උපහාර තිළිණ ප්‍රදානය කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය කියා සිටියේ හිටපු ප්‍රධාන කථා පරිවර්තක කේ. රාහුලන් මහතා මෙරට පාර්ලිමේන්තු කථා පරිවර්තන ඉතිහාසයේ නොමැකෙන සටහනක් තැබූ බවයි. එසේම අනෙකුත් උපහාරලාභීන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් දශක ගණනාවක් දැක්වූ දායකත්වය ද මහලේකම්වරියගේ විශේෂ ඇගයීමට ලක්විය.

අදහස් දැක්වූ හිටපු කථා පරිවර්තකයන් සිය පාර්ලිමේන්තු රාජකාරී ජීවිතයේ සොදුරු මෙන්ම අභියෝගාත්මක අත්දැකීම් සිහිපත් කළහ.

පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න, අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා ) අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩ බලන) එම්. ජයලත් පෙරේරා, පාර්ලිමේන්තුවේ ප්‍රධාන කථා පරිවර්තක සී.ජේ කරුණාරත්න යන මහත්වරුන්ද දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

පුවත්

ලුණු කිලෝවකින් අතර මැදියෝ 100ක් ලාභ ගන්න බව හෙළිවෙලා!

Published

on

By

ඉන්දියාවෙන් ලුණු කිලෝවක් ආනයනය කිරීම සඳහා වැයවී ඇත්තේ රුපියල් 75 කට වඩා අඩු මුදලක් වූවත්, ලුණු කිලෝවක් රුපියල් 100 කට වැඩි ලාභයක් සහිතව අලෙවි කරන බවට තොරතුරු අනාවරණය වේ.

මෙරට ලුණු නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම නිසා ලුණු ආනයනය කිරීම සඳහා රජය පසුගියදා තීරණය කළේය. 

ඒ අනුව, පෞද්ගලික අංශයද මහා පරිමාණයෙන් ලුණු ආනයනය කිරීමට කටයුතු කළේය.

ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව ලුණු මෙට්‍රික් ටොන් 12,450 ක් ආනයනය කර ඇත. එම ලුණු තොග කිලෝවක් අලෙවි කර ඇත්තේ රුපියල් 74.75 කටය. 

ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව ඉන්දියාවෙන් ලුණු මිල දී ගත් මිල ජනතාවගෙන් වසංකර තිබෙන බව සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත පවසන්නේය.

මේ අතර, ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය ලුණු සඳහා උපරිම සිල්ලර මිලක් ද නියම කර ඇත. 

ඒ අනුව, කැට ලුණු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 180 ක් වන අතර, ලුණු කුඩු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 240 කි. 

ලුණු කුඩු ග්‍රෑම් 400 ක උපරිම සිල්ලර මිල රුපියල් 120 කි. 

කෙසේ නමුත්, මේ වනවිට වෙළෙඳපොළේ ලුණු කැට කිලෝවක් රුපියල් 320 ත් 350 ත් අතර මිලකටත්, ලුණු කුඩු ග්‍රෑම් 400 ක් රුපියල් 150 කටත් අලෙවි කෙරේ.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

පුවත්

අතුරුදහන් ධීවරයින් සොයා බෙල් 412 හෙළිකොප්ටරයක්

Published

on

By

මුහුදේ අනතුරට පත් ධීවර යාත්‍රා දෙකේ අතුරුදන්ව සිටින ධීවරයින් සොයා බෙල් 412 හෙළිකොප්ටරයක් යොදවන ලෙස ගුවන් හමුදාවට ආරක්ෂක ලේකම්වරයා විසින් උපදෙස් ලබාදී තිබේ.

ධීවර කටයුතු සඳහා දෙවුන්දර ධීවර වරායෙන් පිටත්වූ යාත්‍රාවක් සහ මොරගල්ල ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මෙලෙස අනතුරට ලක්වී ඇත.

දෙවුන්දර ධීවර වරායෙන් ඊයේ (27) සවස පිටත්ව ගිය යාත්‍රාවේ ධීවර කාර්මිකයින් 5 දෙනෙකු සිට ඇති බවට විශ්වාස කරනු ලබන අතර එම යාත්‍රාව වාණිජ නෞකාවක ගැටී මෙම අනතුර සිදුවී ඇති බවට සැක කරයි.

එම අනතුරින් එක් ධීවරයෙකු මුදාගෙන ගොඩබිමට රැගෙන විත් ඇති අතර අනෙකුත් ධීවරයින් සිව්දෙනා අතුරුදන්ව ඇතැයි වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධව නාවික හමුදාවට දැනුම්දීමෙන් අනතුරුව නාවික හමුදාව විසින් සෝදිසි මෙහෙයුම් යාත්‍රාවක් පිටත් කර යවා ඇත.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල මොරගල්ල ප්‍රදේශයේදී ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවර යාත්‍රාවක් පෙරලී එහි ගමන්ගත් ධීවරයින් දෙදෙනකු අතුරුදන්වී තිබුණි.

මෙසේ අතුරුදන්ව ඇත්තේ ධනුෂා මැරීන් නම් කුඩා ධීවර බෝට්ටුවේ ගමන්කළ අලුත්ගම ප්‍රදේශයේ පදිංචිව සිටින නඳුන් කුමාර සහ ඔහුගේ සහෝදරයා වන දුමින්ද නඳුන් කුමාර බව වාර්තා වෙයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved