Connect with us

පුවත්

පොලිස් බලතල බෙදීම ගැන TNA – ටිරාන් සාකච්ඡාවක්

Published

on

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර 13 වෙනි සංශෝධනයේ පොලිස් බලතල බෙදීම සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ඊයේ දින (09) පස්වරුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවේදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස් බලතල ඉල්ලා සිටීමට හේතූන් විමසා සිටියේය.

එහිදී දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් ලෝකයේ අනෙකුත් රටවල් උදාහරණයට ගනිමින් බලය බෙදීමේ අවශ්‍යතාව පැහැදිලි කෙරුණු අතර දෙමළ ජාතිකයින් මුහුණදෙන ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට බඳුන් වී ඇති අතර, පොලිස් බලතල නොබෙදා එම ගැටලු විසඳීමේ හැකියාව පිළිබඳව අමාත්‍යවරයා විසින් මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෑත කාලයේ එංගලන්තය සහ ඉන්දියාව වැනි දියුණු රටවල් වල පවා බලය බෙදීම ඉතා විශිෂ්ඨ අයුරින් සිදු වූ බව පෙන්වා දුන් දෙමළ සන්ධාන මන්ත්‍රීවරු එහිදී භාවිතා කරන ක්‍රමවේදයන් ලංකාව තුල ක්‍රියාත්මක කිරීමට හැකි බව පැහැදිලි කළේය. එහිදී ටිරාන් අලස් අමාත්‍යවරයා එංගලන්තය සහ ශ්‍රී ලංකාවෙහි දේශපාලන සමාජීය සංස්කෘතීන් සම්පූර්ණයෙන්ම වෙනස් බව පෙන්වා දී ඇත.

දෙමළ ජනතාවට සහ දෙමළ දේශපාලන නායකයින්ට දහතුන්වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමේ උවමනාව කුමක්ද යන්න මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී ප්‍රශ්න කර තිබේ.

13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය වන්නේ, දිස්ත්‍රික් කමිටු මගින් ගනු ලබන තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා දුර බැහැර ගෙවාගෙන කොළඹට පැමිණෙන්නට සිදුවීම හා ඇතැම් ආණ්ඩුකාරවරුන්ගේ තීන්දු තීරණ ක්‍රියාත්මකවීමේ ගැටළුවක් තිබීම නිසා යැයි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් මෙහිදී පවසා ඇත.

එසේම පොලිස් බලතල ලබාදීම සම්බන්ධයෙන් යෝජිත කරුණු වලට අලුතින් කිසිවක් එක් නොවෙන නමුත් ජාතික පොලිස් කොමිසමට අමතරව පළාත් පොලිස් කොමිසමත් පත් කිරීමේ අවශ්‍යතාවයක් මතුවන බව ද ඔවුහු මෙහිදී පෙන්වා දුන්හ.

මේ වන විට උතුරු ප්‍රදේශය පුරාවට මත්ද්‍රව්‍ය සහ අපරාධ සිදු වීමේ ප්‍රවණතාවය ඉහළගොස් ඇති බවත් තරුණ දරුවන් බොහොමයක් අධික ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී ඇති බවත් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු පැවසූහ.

එවැනි කරුණු සම්බන්ධයෙන් පවතින තොරතුරු ඕනෑම අවස්ථාවක මත්ද්‍රව්‍ය හා පාතාල සංවිධාන සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂ පොලිස් කමිටුවට ලබා දෙන ලෙසත් එලෙස ලබා දෙන තොරතුරු වල රහස්‍යභාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවද මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී සහතික විය.

නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සභාපතිත්වයෙන් අදාල විශේෂ පොලිස් කමිටුව ක්‍රියාත්මක කර ඇති බවත් ඕනෑම අවස්ථාවක ඊට අදාළ තොරතුරු නියෝජ්‍ය පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කිරීමට හැකි බව ද අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේය. 

මෙම හමුව සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා, පොලිස්පති සී.ඩී.සී.ඩී.වික්‍රමරත්න මහතා, බස්නාහිර පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුලු පොලිසියේ ඉහල නිලධාරීන් සම්බන්ධ වූ අතර දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් එම්.ඒ.සුමන්තිරන් මහතා, ෂානක්කියන් රාසමාණික්කම් මහතා, ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා, චාල්ස් නිර්මලනාදන් මහතා සහ සෙල්වම් අඩෙක්කලනාදන් මහතා සහාභාගී විය.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පරිදි දෙසතියකින් මීළඟ සාකච්ඡාව පැවැත්වීමට දෙපාර්ශවයම එකඟ වී ඇත.

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading

පුවත්

නියාමනයට පෙර ප්‍රවාහන සංගම් රජයෙන් සාකච්ඡාවක් ඉල්ලයි

Published

on

By

පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ හා පාසල් සිසුන් ප්‍රවාහන රථ නියාමනයට පෙර පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ප්‍රවාහන සංගම් රජයෙන් ඉල්ලිමක් කර තිබේ.

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා සඳහන් කළේ රජය විසින් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමුවන බවය.

පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ, පාසල් සිසුන් ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන මාදිලි රැසක් නියාමනයට අවශ්‍ය පියවර ගන්නා අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාවට මේ සඳහා සියළු බලතල පැවරීමට පියවර ගන්නා බවද ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කර තිබිණි.

ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේදි සම්මත වු අතර පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ, පාසල් සිසුන් ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන මාදිලි රැසක් නියාමනයට අවශ්‍ය ගැසට් පත්‍රයද නිකුත් කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසීය.

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා මේ  සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.

“නියාමනයට කලින් බොහෝ දේවල් තියනවා කරන්න. හැම වතාවෙම මේක කරන්න හැදුවා. ඒත් අපිට කිසිදෙයක් වෙන්නෙ නැතුව රජයට ආදායමක් ලබා ගන්න දෙයක් විතරයි වෙන්නෙ. අපි ඒ දේවල්වලට කැමති නෑ. අපි කියන්නෙ මේක නියාමනය කරනව නම් අපේ ප්‍රශ්න සාධාරණව අහලා ඒවට අවශ්‍ය දේවල් කරලා බලලා අපිත් එක්ක කතා කරලා ඉවරවෙලා මේ දේවල් කරොත් හොදයි කියලා හිතනවා.නියාමනයෙන් හොඳ දෙයක් වෙන්න ඕනා. නියාමනය කියලා මුදලක් අරගෙන අපිට කිසිදෙයක් වෙන්නෙ නැත්තම් වැඩක් නැහැ. හොද විදිහට කරනවා නම් අපි බලනවා. එහෙම නැත්තම් අපිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යන්න වෙනවා.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved