පුවත්

පොහොට්ටුවේ අපේක්ෂකයාත්, පොදු අපේක්ෂකයාත් රනිල්?

Published

on

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලබන මස මැද භාගයේදී ප්‍රකාශයට පත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි.

ඊයේ (09) හොරණ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කලේය.

සංජීව එදිරිමාන්න මහතා මෙහිදී පවසා සිටියේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා කිහිප දෙනෙකුගේම නම් යෝජනා වී ඇති බවය.

ඒ අනුව ඊට ඊට සුදුසුම පුද්ගලයා ජනපති සටනට ඉදිරිපත් කරන බව ඔහු තවදුරටත් සඳහන් කළේය.

කෙසේවුවද, සතිඅන්ත පුවත්පතක් වාර්තා කර තිබුණේ තමා පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දැනුම් දී ඇති බවයි.

ජනාධිපතිවරයා මේ බව දැනුම් දී ඇත්තේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රිවරුන් වෙනුවෙන් ඉකුත් 06 වැනිදා පස්වරුවේ බත්තරමුල්ලේ හෝටලයක පැවැති සාදයකදී බවද පැවසේ.

 පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රිවරු සඳහා මේ සාදය පවත්වා තිබූ බවද වාර්තා වන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙන්ම තවත් දේශපාලන පක්ෂ, විවිධ සංවිධාන සහ සුළු ජාතික පක්ෂ එකතු කරගෙන මැතිවරණයට ඉදිරිපත් විය යුතු බැවින් තමා පොදු අපේක්ෂකයා ලෙස අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ජනාධිපතිවරයා එහිදී පැවසූ බවද වාර්තා වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය දේශපාලන පක්ෂ කාර්යාලය කොළඹ මල්පාරේ දී ඉකුත් 06 වැනිදා විවෘත කළේය.

මැතිවරණ ප්‍රචාරක කටයුතු ජූලි මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර ජනාධිපතිවරණය කැඳවීමේ බලය තව දින 40කින් මැතිවරණ කොමිසමට ලැබෙනු ඇත.

සැප්තැම්බර් මස 17 සිට ඔක්තෝබර් 17 දක්වා අතර කාලයේදී මැතිවරණය පැවැත්වීමට නියමිතය.

එය බොහෝදුරට ඔක්තෝබර් මස 5 වැනිදා හෝ 12 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.

Trending

Exit mobile version